Monday, February 23, 2015

සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.



මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ "අපට හරිගිය/වැරදුණු තැන්" නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ "කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?" යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය කිරීම සදහා "ස්වාමියා නොසලකන හෙයින් වෙන එවුන් එක්ක නිදිවැදීමේ වරද කුමක්ද?"යි ඇසුවහොත් එය ඉවසා වදාරීමටද මේ සමාජය සූදානම්විය යුතුය."කන්න නැතිනිසා හොරකම් කලා.ඒකේ වැරද්ද මොකද්ද?"යි කියා සොරෙක් ප්‍රශ්න කලහොත් ඔහු නිදහස් කිරීමට සමාජය සූදානමින් සිටිය යුතුය.අනික කැලයකදී මරාදමන්නේ අලි පමණක්නම් මේ ප්‍රශ්නය සාධාරන වේ.එහෙත් කැලයේදී මරා දමන වල් ඌරන් ඇතිකිරීමට කිසිදු පූජ්‍ය ස්ථානයක් බාරගන්නේ නැත.කැලයේදී හෝ වෙනත් ස්ථාන වලදී මරාදමන නිසා සර්පයන් ඇතිකිරීමට කිසිම කෙනෙකුන් සූදානම් වන්නේ නැත.කවුරු කෙසේ කිවුවත් කැලේ සතුන් විසිය යුත්තේ කැලයේ මිස මිනිස් වාසයක නොවේය.කැලයේදී උන්ව මරනවානම් විසදුම විය යුත්තේ එය එසේ සිදුවීමට බලපාන හේතු අවමකර උන්ගේ වනගත දිවිය සුරක්ශිත කිරීම මිස පන්සල්වලට ගාල්කිරීම'යැයි කිසිවකු සිතනවානම් ඔහු කෙතරම් සමාජයේ පිළිගත් පුද්ගලයකු වූවත් ඔහුගේ මානසිකතත්වය පිළිබඳව ඇතිවන්නේ දුකක් පමණී.

ලන්කාවේ වාසයකරන වන අලියකුට දිනකට කිලෝ 150ක් පමන ආහාර අවශ්‍ය වේ.මෙම අහාර ප්‍රමාණය ලබා ගැනීම උදෙසා ඔවුන් දිනකට කිලෝමීටර 30ක පමණ දුරක් ගමනේ යෙදෙයි.රන්චු වශයෙන් හැසිරෙන මෙම සතුන් වසරේ එක් එක් කාලසීමාවන්හීදී වනාන්තර හරහා සන්ක්‍රමණය වේ.දැනට ලන්කාවේ අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම හා අලිමන්කඩවල් ජනාවාස වීම යන හේතූන්ය.වැඩිවන ජනගහනය හේතුකොටගන රටක පවතින වනාන්තර ප්‍රමානය අඩුවීම මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවලට ඇතිවී ඇති දැවෙන ප්‍රශ්නයකි.එහෙත් එය එසේයැයි කියා වනාන්තර වල වෙසෙන සතුන් කොහාට හෝ ගාල්කිරීම අතිසාරයට අමුඩ ගැසීමකි.දීර්ගකාලයක් මුළුල්ලේ තිබූ අලින්ගේ සන්ක්‍රමන මාර්ග,අලි මන්ක්ඩවල්  මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිරවීම අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුව වී ඇත.අලින්ට වඩා මිනිස් ජීවිත වටිනාබව අවිවාධිතය.එහෙත් එසේයැයි කියා වන ජීවිත විනාශකිරීම කොතරම් සාධාරනදැයි විමසීම තමන්ගේ මානසික මට්ටම අනූව සිතිය යුක්තකි.අප කලයුත්තේ මෙතෙක්කල් කලාක් මෙන් මෙම ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් යෙදීම නොව මිනිසුන්ට මෙන්ම සතුන්ට සාධාරන වූ විසදුමක් කරා යාමය.අවම වශයෙන් දැනට අවහිර වී ඇති අලිමන්කඩවල් නැවත මෙම සතුන් උදෙසා විවෘත කිරීම මගින් මෙම ප්‍රශ්නයෙන් 50%ක් පමන විසදාගත හැක.තම ගොවිතැන් පාළු කිරීම නිසා මෙම සතුන් තම පරම සතුරන් ලෙස සලකා ක්‍රියාකරන අහින්සක ගම්වාසීන්ගේ ආකල්ප වෙනස්කර එම සතුන් හා සම්බන්ධ පාරිසරික සන්චාරක කර්මාන්ත ස්ථාපනය කිරීම වෙනි ක්‍රියාමාර්ග තුලින්ද මෙම ප්‍රශ්නයට සහන ලබාගත හැක.මෙම ප්‍රශ්නය විසදීම උදෙසා ගනුලබන ක්‍රියාමාර්ග උදෙසා තම හැකියාව පරිදී උදවුකිරීම මෙම රටේ සියළු පුරවැසියන්ගේද යුතුකමකි.ඒ එමගින් තම සහෝදර ජනතාවගේ ජීවිත මෙන්ම අනාගත පරපුරේ උරුමයක්වූ වනජීවිතද සුරකෙන බැවිනි.

මෙම ලිපියේ මුග්ධ ස්වරූපය පෙන්නුම් කෙරෙන තැනකි:


"වනාන්තරයේ සිටින අලි ඇතුන් යන්න එන්න තැන් නැතිව බොන්න වතුර නැතුව ගම්වැදී හේන් පාළුකර ගේ දොර කඩනවානම් ඊට විසදුම උන් එතනින් වෙන ගමකට පන්නා දැමීමහෝ වෙඩිතබා මරා දැමීම නොවේ.
ඒ සතුන්ට කන්න බොන්න දී කරුණාවෙන් ඇතිදැඩි කලහැකි තැනකට භාරදීමයි.එවිට ඒ සතුන්ටද ආරක්ශාව හිමි වේ.ඒ සතුන්ට ආධාරකොට ජාති ආගම් භේදයක් නැතිව කාටත් බලන්නට පෙරහැරක් කිරීමටද භාග්‍ය උදාවේ".


මෙම අදහස ගල්බොඩ තෙරණුවන්ගේද,නැතිනම් ලියුම්කරුගේද යන්න පැහැදිලි නොමැතිවූවත් එම තෙරණුවන්ගේ ඡායාරූප යොදාගන උන්වහන්සේගේ අදහස් ප්‍රකාශකිරීමක් ලෙස ඒත්තු යන පරිදී ලියා ඇතිනිසා ,අනාත අලි යොදා පෙරහැර පැවත්වීම මගින් තෙරණුවන් තමාගේ කීර්තිය හා මඩිය තරකරගැනීමේ උත්සහයක යෙදෙනවා'යි කියා කිසිවකුට නිගමනය කලහැක.මේ ලෙසම ක්‍රියාකල තවත් එක් ශාන්තුවරියෙකි,තෙරේසා මව්තුමිය.ඉන්දියාවේ සිදුවූ රසායනික අනතුරක් වූ බෝපාල් සිද්ධියේදී තෙරේසා මවුතුමිය ප්‍රමුඛ එතුමියගේ අනිකුත් සහෝදර කන්‍යා සොයුරියන් පිස්සුවෙන් මෙන් මව්පියන් අහිමි ළමුන් තමන් විසින් පාළනය කරනා අනාතනිවාස සදහා එකතුකරගත්තෝය.මෙම අනතුර පිළිබඳ විමසූ වාර්ථාකරුවකුට තෙරේසා මවුතුමිය පවසා තිබුනේ මෙම අනතුර දේව ආශිර්වාදයක් බවත් මෙනිසා දේවියන් කෙරේහි භක්තිවන්තවූ නව පිරිසක් බිහිකරගත හැකි බවත්ය.මෙම ලිපියේ සදහන් ඉහත කරුණ නිසා ගල්බොඩ තෙරණුවන් සිදුකරනු ලබන්නේද තෙරේසා මව්තුමිය මෙන්ම අනාතයන් විකුනමින් පෙරහැර මාර්කට් කිරීමක් බවට කිසිවකුට චෝදනා කලහැක.එලෙස චෝදනා ලැබුවහොත් එය එම තෙරණුවන්ට පෞද්ගලිකව එල්ලවන්නාක් නොව සමස්ථ බුදු දහමටම එල්ලවන්නාක් නිසා එයට නිසි පිළිතුරු සැපයීමද එම තෙරණුවන්ගේ යුතුකමකි.


පසුගිය කාලයේදී ගන්ගාරාමයේ කුඩා ඉඩකඩක බැඳසිටි අලිපැටවුකට ඇත්ගොවුවා විසින් පහර දෙනුලබන දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු විය.ඒ පිළිබඳව දායකසභාවේ පිළිතුරවුවේ මේවා ප්‍රසිද්ධියේ නොව තමන්ට පෞද්ගලිකව දැන්වුවානම් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනුලබන බවය.මොන අමන ප්‍රකාශයක්ද?.තමන් සතුව සිටිනා කුඩා අලිපැටවකුගේ ආරක්ශාව බලාගත නොහැකි තෙරණුවක් විසින් කැලේ අලි මරාදමන හෙයින් පන්සලට බාරදෙන ලෙස පැවසීමම විහිළුවක් නොවේද?කැලයේ සිටියදී නිදහසේ ඇවිදිමින් දිවි ගතකරනා සතකු අල්ලාගනවිත් මිනිසෙකුට පවා සිටිය නොහැකි තරමට අවුවට රත්වෙන ටකරන් මඩුවක බැඳදමා උගේ ජීවිතයේ වසර 60-70ක් ගතකිරීමට සැලස්වීම බුදුධහමේ නාමයෙන් සාධාරනය කරගැනීමට උත්සහ දැරීම මිනිස්කම අගයන සමාජයකට කෙතරම් ගැලපෙනවාද යන්න විමසා බැලීමට තරමටවත් තේරුම්ගත නොහැකිනම් හොඳම දේ නිශ්ෂබ්දව සිටිමය.ඒ මෙවනි ප්‍රකාශනිසා අභියෝගයට ලක්වන්නේ සමස්ථ බුදුදහමම නිසාය.අභියෝගයට ලක්වන්නේ "සියළු සත්වයෝ දඬුමට බිය වෙති"යි නම්වූ බුදු වදනම නිසාය.

එක් පසකින් දළදා මාළිගාවට අගෞරවවේ'යැයි කියා දස දහස්ගනන් මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසාගන කිසිඳු ආකාරයකින් පිළිගත නොහැකි හේතු පවසනා මහානායක හිමිවරුන්ය.අනික් පසින් අලි අල්ලා හීලෑකිරීම සාධාරණීකරණය කරනා රටම පිළිගත් තෙරණුවෝය.ඕනෑමකෙනෙකුන්ට තමන්ගේ පෞද්ගලිකමතය ඉදිරිපත්කිරීමට කිසිඳු බාධාවක් නැත.එහෙත් බෞද්ධ නායකයන් වශයෙන් පෙනීසිටිමින් කරනා මෙවනි ප්‍රකාශ නිසා හෑල්ලුවන්නේ,නින්දා විඳින්නේ රටේ සමස්ත බෞද්ධ ජනතාවමය."මේකද උඹලගේ මහාලොකු කරුණාව" යි කියා අන්‍යාගමිකයකු විමසුවිට බෞද්ධයකු වශයෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වීමට සිදුවේනම් එයටත් වඩා අවාසනාවක් බෞද්ධයකුට තවත් තිබේද?ගහට වැලට පවා ආදරය කිරීමට කියාදුන් මහා කාරුණිකයානන්ගේ අනුගාමිකයන් වශයෙන් ඔබවහන්සේලා මීටවඩා වගකීමෙන් ක්‍රියාකල  යුතුබව තේරුන්ගත නොහැකි තරමට මානසික බෙලහීනතාවයට පත්වී ඇතැයි මම නොසිතමි.එහෙයින් සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවය උදෙසා මීට වඩා වගකීමෙන් අදහස් දක්වන ලෙස ඔබ වහන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිමි.

Thursday, February 19, 2015

තාත්තා....



මෙච්චර සැලකිල්ලක් මට....
ඇයි.....කවුද මම නුඹේ
අහිමි පසු ගිරිදඹේ අත් වාරුව
වූවා නුඹ අත්වැල.... කිසිදිනක අත් නොහැරෙන
මා සිරුරත උණුසුම් කරමින් දිව යන්නේ
රුහිරු නොවේ නුඹගේ.....
ඒ රුහිරුයි වෙනකෙකුගේ.....

මෙච්චර කැපකිරීමක් කොහොමද....
තමන්ගේ නොවන පිට කෙනෙකුන්ට
තමන්ගේ'යැයි සිතූ සෑම කෙනෙකුන්ම
අහක බලද්දී.....
නොගොස් ඒ අත ඔබ කෙරූ වික්‍රමය
ඇත්තමයි ශ්‍රේෂ්ඨයි....


සිතන්නේ කෙලසින්ද
ඔබ මගේ නොවෙයි කියා

දැනෙන්නේ නැතුව ඇති
මට වගේම නුඹටත්.... අපි දෙන්නා
පිටවුන්'යැයි කියා
සිතන්නේ නැතුව ඇති
මම වගේම නුඹත්
අපි අපේ නොවේ කියා....
කරන්නම් සියළු දෙය නුඹ සිතේ සතුට එන
හැබැයි මට අවැසිමයි
අවසරය නුඹ සිතින් මයිලනුවණි
තාත්තාටත් වැඩිය තාත්තෙකු වූ නුඹට
අමතන්න වරක් හෝ
තාත්තේ'යැයි කියා.....







            කටුස්සා...

 විශේෂ ස්තූතිය -"අවන්හලේ" මහේශ් සහෝට.




Monday, February 16, 2015

මාරුතය




වළාකුලින් සගවා තරු ලෙසින් දිළෙන නුඹ නෙතු යුග
නොවිදි නෙතු කැළුම් විඳිනා සඳ මඩලක සිසිලස යට
මල්පෙති මත ඇඳුන රටා පරදා මතුවන නුඹෙ වත
සමග සිනාසෙමි තනිවම සිහින ලොවක සිසිලස විඳ

කල්පාන්ත මාරුතයක උණුසුම රැඳි නුඹ සුසුමක
පතිණි වරම අහිමි රැයක නුඹ නිදනා තනි යහනක
කවුළු දොරින් පෙරී ඇවිත් වත දිදුළන සඳ එළියක
පිසින්න අවසර දෙනවද නලියන තෙත ඇහි බැමි යට

කතා දහක් අග ඇතිමුත් නිහඩව සිටිනා මුවමත
වෙවුලන නා දළු පවසන නිහඬ කවක නවතින සිත
නුඹට හොරෙන් තුරුළු කරන් රඳවන්නට මල් ගොමුවක
සම්මතයට පිටින් ඇවිත් රැදෙනවාද අද හවසම

සසල වළා නෙතු යොමුවත් නිසල නොමැති ලොව මදකට
ඒ ගැන නොසිතා සිටින්න සසල නොවෙමි මම නුඹ ලඟ
බිඳී කැඩුන තටු පිරිමැද සුවපත් කරනට ඔසු ගෙන
දෙනවද ඉඩ ඔබේ ලොවේ බිඳකට ඉවසා දන මත










                                    කටුස්සා...

Thursday, February 12, 2015

ගිජිඳු



අවරට යන හිරු අතරේ-මවු පුතු හොඬවැල් පැටලේ
වතුර බිඳක් සොයා යන්න-දෙපා යොමු වුනා

සීට් බෙල්ට් උගුලෙ තොණ්ඩුව-වැටී තද වෙලා කකුළට
මහා හඬින් කෑ ගසනා -පුතු දෙනෙත බලා

කුන්චනාද කර දස දෙස-කරකවා වලිගෙ රවුමට
දූලි වලා නගා වැරෙන්-පුතු දෙසට ගියා

දරා කුස හොවා සෙනෙහෙන්-පෙවූ කිරි වෙලා රුධිරය
පැරද වෙඩි හඬට බුරුලෙන්-පොළව තෙත් කලා

පුරුදු කිරි සුවඳ පරයා-දැනුන ලේ සුවඳ විඳගන
ඩිෆෙන්ඩරේ පසු පසට වැද-පුතු කොළඹ ගියා

මහා "අසපුවේ"පැත්තක-තැනු තහඩු මන්දීරේක
දම්වැලෙන් වෙලී පා යුග-පුතු ගාල් වුනා


 ආලවක ලෙසින් වෙස් ගෙන-දරා සිවුර පින් කඳ වට
මහත් සොම්නසින් බුදුපුතු-සිනා විසිරුණා

නැතිව විඳි මවගෙ උණුසුම-දඟලනා විටදි යන්නට
නිවන් පුරය අසබඩ සිටි-පින්වතුන් තුටුවුනා

බලන්නකො මුගෙ දැඟලිළි-ඉහ වහ යයි කෙළිලොල් ගති
බොදු බැතියෙන් ගිණි කණ වැදි-මුවින් පිටවුනා

මෙවන් බුදු පුතුන් සෙවනක-රැදෙන්නට කොතෙක්දැයි පින් කඳ
තිරිසනා උනත් බැතියෙන්- සාදු කියවුනා

පැමිනෙනා විටදි රජවරු-බුදු පුතුන් අතින් පළතුරු
කවන විටදි පත්තරයට-දසුන් එක්වුනා

යන්න පෙරහැරේ ගරු ලෙස-තබා පිටමතින් ධාතුව
පුරුදු කරමු අපි "රාජා"ට-බුදු පුතුන් සැරසුනා

කෙසඟ වී දිරුව ඇලයට-ඇනෙන විටක හෙන්ඩුවෙ උල
සන්සුන් ලෙස ගමනේ යන්න-රාජා හුරුවුනා


 අනේ මහා පින් කඳක්ය-බලන්න මූ යන ලස්සන
කියා කියන ශ්‍රද්ධා සිත්-ගනන වැඩි වුනා

තබා කරඩුවත් පිට මත-යනෙන විටදි පෙරහැර මැද
දැනුණ කිරි සුවඳ රාජාට-ඉන්න බැරිකලා

විසුණු කර දැමූ දම්වැල්-සොයන විටක මවු උණුසුම
වියරු වැටුන මවු සෙනෙහෙට-සිල්වතුන් පැරදුනා

මේක දේව සාපයක්ය-කිල්ලට අහුවෙල පෙරහැර
අති පූජ්‍ය ආලවකයා-හඬ අවදිකලා

කිසිත් නොදන්නා වන සිත-තහඩු මඩුවෙ දම්වැල්මැද
හමා එන සුළගෙ මුහුවුන-මවු සෙනෙහේ ඉවකලා




කටුස්සා....


Sunday, February 8, 2015

මිතුරිය




දිලුණ තරු කැට නිවී ගිය දින
අඳුර හොබකල දිවි තලාවක
උණන කඳුලැලි නොම වැටෙන්නට
දෙනෙත් නොම ඇරි හුදකලාවක
එළිය කෙරුමට පාළු දිවිමග
සඳක් විලසින් පැමිණි මොහොතක
සිතින් සියවර ඇළුම් කෙරුවෙමි
පාළු සිත් මල නුඹට මිතුරිය.........


ආදරය යන අකුරු සතරට
නුඹ ලබා දුන් අරුත මා හට
වටහගන්නට නොහැක ලතවෙයි
මදිය ගෙවු මග දිවිය මෙතුවට
සදා නොමැකෙන සිතුවමක් ලෙස
නුඹ අතින් ඇඳි සුමුදු මතකය
සදා සුරකිමි බෝ පතක් මෙන්
කිසිඳු කිළිටක් නොගැටෙනා ලෙස......


බිළිඳියකි නුඹ මගේ අභියස
වසර දොළසක තබා පරතර
බොහෝ දුර වේ නුඹේ සිහිනයන්
මගේ සුන් වූ සිහින පාමුල
ගෙවූ තනි මග නිමා කෙරුමට
නොහැක සිඳුමට නුඹ සිහින ගඟ
හඬින් පමණක් ලන්වියන් නුඹ
එපා එන්නට මා දකින්නට........


තෙපලනා විට සුරතලින් නුඹ
නුඹේ වදනට ලොබ බදින සිත
තබයි පියවර පසු පසට යළි
මුමුණනා විට හැඟුම්බර සිත
ආදරෙයි මම ඔබට මෙතුවක්
කිසිදා අයකුට නොකල මෙන් පෙර
ඒ නිසා ඔබ එපා එන්නට
මගෙ සුසුම් රැළි දැනෙන මානෙට......






                 කටුස්සා....

Tuesday, February 3, 2015

පොත් සමගින් ගැටවර විය...




මින් පෙර ලියූ "පත්තර අතීතය" නැමති ලිපියේ කියූ පරිදී කටුස්සාට කුඩා කාලයේ සිට පුදුම කියවීමේ අමාරුවක් විය.අතට අහුවන අකුරු තියන ඕනෑම කුණුහරුපයක් කියවීම අද වෙන තෙක්ම සුවකිරීමට නොහැකි අසනීපයක් වී තිබේ.මේ අමාරුවට කටුස්සාගේ නිවැසියන්ගෙන් ලැබුනේද ඉමහත් සහයකි.එකල සිට මිලිදීගත් පොත් සියල්ල ලඟ තිබුනානම් විශාල ප්‍රමාණයකට හිමිකම්  කීමට හැකියාව තිබුනද කියවීමට පොත් රැගෙන යන්නන්ගේ හොඳකම නිසා කිසිදා එම ප්‍රමාණය 300 ඉක්මවන්නේ නැත.මතක විදිහට කටුස්සා පළමුවෙන්ම කියවූ පොත වන්නේ "පුන්චි වලස් පැටවු තුන්දෙනා" නම් වු පොතයි.ඒ කටුස්සා මොට්ටසෝරි යන අවදියේය.මේ ලිපිය අකුරු කරන්නේ කටුස්සා එම අවදියේ සිට සාමන්‍යපෙළ අවදිය තෙක් කියවූ පොත් පිළිබඳව මතක ඇති පමණට මතකය අවදි කිරීමටය.

කුඩා කල සිට කියවූ පොත් අතර අදද මුලින්ම මතක් වන්නේ "හත්පෙති මල" නම් පොතයි.එහි වූ වර්ණවත් චිත්‍ර අතරින් විශාල හිම වළසෙකු සිටිනා චිත්‍රය අදද කටුස්සාට මතකය.එම පොතත් සමග මිලදීගත් තවත් රුසියන් පොතක් විය.එහි නම කටුස්සාට මතක නැත.ඒත් එම කතන්දරයේ සුදු පැහැති ගෝනෙක් විය.දුනු ඊතල ගත් කෙනෙකුද විය."රාස්සිගේ කැවුම් මල්ල" නම් එකල කිය වූ ගුනසේන ආයතනයෙන් මුද්‍රණය කල පොතක් මෑතක්වන තෙක් කටුස්සා සතු විය.එය මතක තිබීමට ප්‍රධාන හේතුවනම් එය කටුස්සා කියවූ ප්‍රථම කුඩා අකුරින් ලියවුන පොත වීමත් පියවුරු එළියට පනින සේ ඇද තිබූ රාස්සිගේ චිත්‍රයත්ය."රස කතා" හා"ලස්සන වසිලිස්සා" යනු එකල කියවූ කිසිදා අමතක නොවන රුසියානු පොත් දෙකකි.එම පොත් දෙකට කෙතරම් ආදරය කරනවාද කියතොත් කටුස්සාගේ සොයුරියගේ 12 හැවරදි දියණියගේ මෙවර උපන්දිනයට කටුස්සා විසින් ලබාදුන් උපන්දින තෑග්ග වන්නේද අමාරුවෙන් සොයාගත් එම පොත් දෙකයි.අන්දරේ පිළිබඳ ලියවුන පොතක් මෙන්ම මහදැන මුත්තා පිළිබඳව ලියවුන පොතක් පිළිබඳවද කටුස්සාට ලාවට මතකයක් ඇත."හත්පණ"ද එකල ආශාවෙන් කියවූවේ හත්පණ ටෙලිය එම කාලයේ විකාශනය වූ නිසාය.

ඉලගරත්නයන් රචිත "හපනා" කටුස්සාව නව මානයකට තල්ලුකර දැමූ පොතකි.එම පොත කියවූ පසු ඉලගරත්නයන්ට වහවැටුන කටුස්සා "අඹ යහළුවෝ","ශිෂ්‍යත්වය","විලම්භීත","තිළක","තිළක හා තිළකා" යන පොත් 4 වසරේදී පමණ කියවා නිම කලේ ඔටුවෙක්ට ස්ප්‍රයිට් ලැබුනාසේය.මේ අතර වාරයේ වූ සුවිශේෂී සිදුවීමනම් කටුස්සා තමා කියවූ ප්‍රථම නවකතාව ලෙස ජයකොඩි සෙනවිරත්න ශූරීන්ගේ "රණ තිසරු" පොත කියවීමය.ඒ 3 වසරේදීය.කටුස්සාගේ සොයුරියගේ පොතක් වුන එය කියවද්දී කිසිම අමුතු හැඟීමක් ඇති නොවුනත් එහි කොල්ලා පොලිස් නිලධාරියකු වන කොටස ඉතා ආශාවෙන් කියවූවා තාමත් මතකය.5 වසර සින්හළ පෙළ පොත නිසා වහවැටී සොයා කියවූ පොතකි ,"වනගත ළමෝ".අචාර්‍ය දොන් පීටර් පියතුමන් විසින් රචිත එම පොත සමග එතුමන් ලියූ "හොල්මන් දූපත" ,"ඩින්කි"  යන පොත්ද සමගින් ඔහුගේම නම් අමතක තවත් පොත් දෙකක් කියවුවා මතකය.එකක්නම් ගමෙන් නගරයට විත් ගැටකැපීමට හුරුවන ළමයකුගේ කතාවකි.අනික 71 කැරල්ළට සම්බන්ධ වන ළමයකුගේ කතාවකි.එහි නම "විදුහළේ විත්ති" ලෙස යන්තම් මතක තිබුනත් හරි හැටි විශ්වාස නැත.

මෙම කාලයේදීම වාගේ කටුස්සාව පිස්සු වැට්ටවු තවත් කතුවරයකු වූයේ දොස්තර R.L.ස්පිට්ල් මහතාය."සුදු ගෝණා" කටුස්සා කියවූ ඔහුගේ මුල්ම පොතය.ඉන්පසු කියවූ "සුදු වැද්දා" ,"ලක්බිමේ සත් වසක්","වීර දිවයින" ,වෙනි එතුමාගේ පොත් කටුස්සාගේ මණදොළ පිනවීමට කැපවුනි.එතුමාගේ දියනිය ගේ "තිත්ත කෝපි" නම් වු කෘතියද මේ හුස්මටම කියවූ තවත් පොතකි.මෙකල කියවූ තවත් පොතක් පිළිබඳව හොදින් මතකයක් හිත රැදුනද එහි නම මතකනැත.එහි කතාවනම් රත්නපුර ලෙල්ලුපිටියේ ඉපදුණු ළමයෙක් කරවල වාඩියකටපැහැරගන ගන යාම හා එහි ගෙවන ජීවිතය පිළිබඳව කතාවකි.මා නිවැරදිනම්  ලන්කාවේ  ප්‍රථම වර්ණ චිත්‍රපටය වන රන්මුතු දූවට පාදක වී ඇත්තේද එම පොතය.එහි නම "වාලම්පූරි" විය යුතුය.කතුවරයාගේ නම මතක නැත.

R.K.නාරායන් ශූරීන් ලියූ "මල්ගුඩි දවස" හා "ස්වාමි සහ යාළුවෝ" නම් පරිවර්ථන කෘතීන් කටුසු මතකයේ අමරණීය ලෙස තැන්පත්වී  ඇති තවත් පොත් දෙකකි.විශේශයෙන් "ස්වාමි සහ යාළුවෝ" ය.උපහාස රසයෙන් මෙන්ම ශෝක රසයෙන්ද අනූන වූ එම පොතට කටුස්සාගේ පොත් එකතුවේ තාමත් විශේෂ ස්ථානයක් හිමිව ඇත.කොපමණ අසා තිබුනත් පාසලේ 7 වසරට යන තුරුම කටුස්සා "මඩොල් දූව" කියවා තිබුනේ නැත.ඒ කුමණ හේතුවක් නිසාදයි අදද වටහාගත නොහැක.මාර්ටින් වික්‍රමසින්හයන් කිසිදා කටුස්සාගේ ෆේවරිට් ලිස්ට් එකේ සිටි කතුවරයක් නොවුනි.අද දක්වාම ඔහුගේ පොත් වලින් කියවා ඇත්තේ "මඩොල්දූව" සහ "ගම් පෙරළිය" පමණි.පහ වසර පන්තියේ සිටින විට කියවූ කතුවරයා අමතක තවත් පොත් ත්‍රිත්වයකි; "ගිම්හානයේ වික්‍රමයක්" "බස්තියන්ගේ සොහොණ" හා   "කම්මළේ දෝන්කාරය".කතුවරයාගේ නම අමතක වූවත් ඔහු නීතීඥවරයකු යැයිනම් මතකය.නාගරික පරිසරයට හුරු වී තිබූ කටුසු මණස ගමේ සුන්දරත්ව‍යෙන් පිරවූ  කිසිදා අමතක නොවන පොත 2ක් ඇත."බක් මහේ නිවාඩුව" ඉන් පළමුවෙන්නයි.කතුවර නම මතක නැති එය මාතර ප්‍රදේශයේ ගැමිපරිසරයක ජීවත්වන ළමුන් පිළිබඳ කතාවකි.එම පොතින් ඉගනගත් අළුත් වචනයක් වූවේ දිවුල් වලට එම ප්‍රදේශයේ භාවිතා කරණ "ජූල්"නැමති වචනයයි.මාලනී ගෝවින්න නැමති කතුවරිය විසින් රචිත "පේ අයියා" නැමති පොත ගැටවර කටුස්සාව ගැමිසුන්දරත්වයෙන් වශීකරවූ තවත් පොතකි.දෙවන ලෝක යුද සමය හා ආශ්‍රිත කාළ වකවානුවක ජීවත් වූ ගැමි පවුලක් ඇසුරු කරමින් ලියූ මෙහි අවසානයේ පේ අයියා මියයන මුත් එය සුන්දරත්වයෙන් අග තැන්පත් පොතක්ම විය.

මේ කාලය ගැන කතාකිරීමේදී කටුස්සාට මෙන්ම එම පරම්පරාවේ පොත්වලට ආදරය කරන දහසක් දෙනාගේ මතකයෙන් ඈත් කරවිය නොහැකි මහාචරිතයකි ;K.G.කරුණාතිලක ශූරීන්.ඔහු ගැන කතාකිරීමට වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු ඇතිමුත් "ටාර්සන්" පොත්මාලාව  තුලින් ඔහු කල වික්‍රමය හරහා පොත් කියවීමට පෙළඹුන දහසක් දෙනා අතර ඔහු සදාකල් ජීවත්වනු ඇත.ටාර්සන් පොත් මාලාවට අමතරව ඔහු විසින් පරිවර්තනය කල "විජයග්‍රාහී කෝනෑන්", "බැස්කර්විල් දඩ බල්ලා" ,"කොර්සිකාණු සහෝදරයෝ" "ඉවටි" ,"රොබින්සන් කෲසෝ" ,"මාස්ටර්මන් රෙඩි", "ඉටි බෝලය" ,"අභිරහස් විද්ධචිත්‍රය" වෙනි පොත් වලට වහ වැටුන අප පරපුරේ දහසක් දෙනාට විශ්වසාහිත්‍ය නැමති සයුරේ යාත්‍රා කිරීමට පහුර වූවේ කරුණාතිලක ශූරීන්ය.සාමාන්‍ය පෙළ අවදියෙන් පසු කියවූවත් එටුමන් විසින් පරිවර්තනය කල "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා"කටුස්සාගේ ප්‍රියතම කෘතියකි.20වරකට වඩා එමපොත් 6 කටුස්සා විසින් කියවා ඇත.කරුණාතිලක ශූරීන් අප පරම්පරාවට හුරුකරවූ අනිකුත් ප්‍රධාන දෙයනම් භාග පරිවර්තකයන් සහ ශබ්ධකෝශ පරිවර්තකයන් අප ලොවින් එලවා දැමීමට හුරු කර වීමය.වර්තමානයේ පරිවර්තකයන් කොතෙක් සිටියත් අප පරම්පරාවේ බොහෝදෙනෙකුට  කියවීමට හැකි  පරිවර්තනයක් සොයාගැනීමට නොහැකි වී ඇත්තේ ඔහුගෙන් ලද අසන්ශික්ප්ත පරිවර්තන ආභාශය නිසාමය.(බුකියේ "පොත් කියවන අය"නම් වූ එකතුවේ පළවූ අදහස් කිහිපයකි මේ).

සිරිල් සීපෙරේරා ශූරීන් පරිවර්තනය කල "එමා බෝවාරි" සහ "ශේන්" ද එකල කියවූ තවත් මතකහිටින පොත් දෙකකි."ශේන්" කියවා ඇති වාරගනන ගනන් කල නොහැකි තරම්ය.චන්ද්‍ර අනගිරත්න නම් වූ විෂිශ්ඨයා විසින් රචිත "නරලොව හොල්මන්" නම් කෘති මාලාව මතක් වෙද්දීත් හිනායන එකල කියවූ තවත් හිත ගිය පොත් 4කි.ඔහු විසින් පරිවර්තනය කල "ටොම් සෝයර්" ,"හක්ල්බරීගේ හපන්කම්" ,"කෝච්චියේ ළමයි" ,"සොළමන් රජතුමාගේ දියමන්ති ආකරය", "උදාර අපේක්ශා" ,"සුදු ඇදගත් කාන්තාව" ,"රජ පැටියා සහ හිඟන පැටියා" ,"ෆ්‍රැන්කන්ස්ටයින්" ,"හයිඩි","ඩ්‍රැකියුලා" වෙනි පොත් එම කාලයේ කටුස්සාව පිස්සු වට්ටපු හැටි අදද හොදින් මතකය.

"පිච්ච මල" නවකතා මාලාව හරහා හදුනාගත් ජයසේන ජයකොඩි ශූරීන්ද කටුසු මතකයේ නොමැකෙන සිත්තමකි.එම සිතුවමට කොතරම් අශාකලාදැයි කියතහොත් එතුමාගේ "රන් කුකුළෝ ඉගිලයති" හා "දෙබෑයෝ" නම් නවකතා හැරුන විට එකල පළවී තිබූ අනිකුත් සියළුම පොත් කටුස්සා විසින් මිලදීගන කියවන ලදීය.එම පොත් අතරිනුත් "පරසතුරෝ" සහ "රන්දහඩිය" නැමති නවකතා විශේශ විය.බුද්ධ චරිතය ඇසුරු කර ලියවුන විශිෂ්ඨතම කෘතිය ලෙස කටුස්සා අදද දකින්නේ එතුමා විසින් රචිත "අමාවැස්ස" නම්කෘතියයි.

 "දොඹගල නිධානය","කඩවර අඩවිය" ,"හනුමන්ගිර" ."උත්සහවන්තයෝ" ,"වීර්යවන්තයෝ" ,"අභය භූමිය" ,"පාළුදූපත" ,"ගුරු පඬුරු" ,"මිල්ටෙරිකාරයෝ", "මල්ලිගේ විත්ති" ,"රූකඩයා" , "ග්‍රීම් කතා 01-02" ,"නිධන් දූපත" ,"වනගත වීරයෝ" ,"පුන්චි කිරා" ,"අපායෙන් උපායක්" ,"මැටි කෝප්පය" ,"පුදුම දිවයින" ,"සහෝදරයෙක්" ,"සුදු හාමිනේ" ,"පුළතිසි වීරයෝ" ,"නිරානන්දය" වෙනි නම් එකල සිහි කරද්දී නිතැතින්ම සිහියට නැගෙන්නේය.මිනුත්  "සහෝදරයෙක් හා "සුදු හාමිනේ" යන නවකතා දෙස කටුස්සා අදත් බලන්නේ ටෙලි නාට්‍යක් දෙස බලනා ඇසකිනි.ඒවා එතරම්ම ටෙලියකට සුදුසු නවකතාවක් ලෙස කටුස්සා පෞද්ගලිකව සිතයි.එකල ගැටවර සිත මෝහනය කල තවත් කතුවරයකි,කුළසේන ෆොන්සේකා මහතා."රන්සිරිගේ සන්ග්‍රාමය","කල්ලන්දූවේ මුතු කොල්ලය" ,"සෝමපුරවීරයෝ","තුන් යහලු වික්‍රමය" හරහා යොවුන් සිත ආමන්ත්‍රණය කල එතුමාගේ "පාලමයට" සහ "විය සිදුර" ද එකළ කියවූ පොත් ලෙස සිතට නැගේ.

දැදිගම වී.රුද්‍රිගූ ශූරීන් විසින් රචිත "වානේ පන්නරය ලැබූ හැටි 01-02" යන පොත් කටුසු මතකයේ අමරණීය පොත් දෙකකි.පසු කාලීනව රුසියානු සාහිත්‍යට වහ වැටුණ කටුස්සාට එම මාවත එළි පෙහෙළි කලේ එම පොත් දෙකය."අපරාධය සහ දඩුවම "පොත් දෙක කටුස්සා මිලටගනු ලැබුවේ ටවුන් හෝල් වල පිහිටා ඇති ඔසුසළ ඉදිරිපිට වූ පදික වේදිකාවෙනි.ඒ 7 වසරෙදීය.එකල එය  කියවීමට සිත් නොදුන්නත් 11 වසරේදී කටුස්සා විසින් ඒවා කියවන ලදී.මතකය නිවැරදිනම් රාජ ශ්‍රි පීරිස් නම් මහතකු විසින් රචිත "දිරිය දරුවෝ" නම් පොත සදාකල් මතකයේ රැදෙනා පොතකි.අමුතුම කතා ආරක් ගත් මෙය නැවත මිලදී ගැනීම සදහා කටුස්සා විසින් ගත් සියළු ප්‍රයත්නයන් අද දක්වා ව්‍යර්ථ වී ඇත.යෞවනයන් උදෙසා නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍යක් උදෙසා කිසිවකු හෝ පිටපත් සොයන්නේනම් ,අන්න පොත්ය.

10 වසර අවසානයේදී කියවූ "යේසූස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ" කටුස්සාව වෙනස්ම මානයකට ඇදදැමූ පොතකි.කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක යන කතුවරයන් විසින් රචිත එම පොත කියවා ඒ ඇසුරුන් මිළදීගත් ඔවුන්ගේ දෙවනි පොත වූ "අල්ලා හු අක්බර්" කටුසු මනස වෙනස් කළ ප්‍රධාන යතුර බවට පත් විය.එම පොතෙන් කිසිදා නොදැන සිටි ,අසා නොමැති නව දැණුමට වහ වැටුන කටුස්සාට ඒ හා සමාන සින්හළ පොතක් අද වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.කටුස්සාට අප්‍රිය වී තිබූ ඉන්ග්‍රිසී දැණුම උනන්දුවෙන් යුතුව ලබා ගැනීමට කටුස්සා පෙළබුනේද මේ හා සමාන වූ ඉන්ග්‍රීසි පොත් කියවීමට අවැසි වු නිසාය.පසුව උසස්පෙළ අවදියේ ගාමිණි හෝල් අවට පැරණි පොත් විකුණන කඩ පීරීමට හුරු කරවූවේද "අල්ලාහු අක්බර්" මය.සහෝදර පාසලක විවාද කණ්ඩායමකින් ත්‍යාගයක්ලෙස ලද "පූජිත ජීවිත 01-02" නැමති පොත්ද එකල කියවූ පොත් අතර නොමැකෙන සිහිවටන වේ.

මෙම ලිපියේ සද්හන්වන්නේ මේ පිළිබඳ සිත් යොමු කරද්දී එක්වරම සිතට නැගුන පොත් වල නම් පමණකි.නම අමතක පොත් සහ කතුවරුන් සිය ගනනකි.දෙමාපිය ගුරුවරුන්ට පසුව මා අදද හිස නමන එකම පුද්ගල ඛාණ්ඩය වන්නේද එම කතුවර පිරිස් පමණක්ම වේ.ඒ අද මා ගතකරන ජීවිතය ජීවත් කිරීම සදහා ඔවුන්ගෙන් මා අඩුම තරමෙන අබ ඇටක තරම් දෙයක් ලබාගන ඇති බැවිනි.


                                     

                                                     කටුස්සා.....