Wednesday, April 27, 2016

හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ.....


දන්නවද....?
කවි කතා අකුරුකල 
පන්හිදත් නැවතිලා
පිටු පුරා රස මැවුව
කවි සිතම ගොළුවෙලා
ඔබ නිසා....
ලියන්නට කවි පෙලක්
හැදුව මුත් සිය වරක්
ලියවුනේ එක නමයි
දන්නේ එය විතරමයි
පුදුමයක්නම් තමයි....
සිතට කිසි අදහසක්
නෙතට සුබ රසඳුනක්
සවනතට පදවැලක්
නොගැටෙන්න....නොදැනෙන්න....
නුඹ කෙරුව මායාව
අතර හිඳ අසරණව
තවත් කොපමණ කලක්
මේ ලෙසම හිඳින්නද.....?


කටුස්සා....

Friday, April 22, 2016

වල්පල් , අම්මා සහ බුදුන්......


සත් සියක් සක්වල නොමැති දේ
සත් කපක් සෙවුවද නොමැති දේ
සත් මුහුද පරදා නැගෙන දේ
සත් වෙසින් මා සමග ඇති දේ

හඳුන ගත්තෙමි....වටහ ගත්තෙමි....
හිතපුරා මා වැළඳ ගත්තෙමි....
නුඹේ සෙනෙහස තරම් මිහිමත
අරුමයක් නැත තවත් මා හට....

කටු කොහොල් පඳුරු මැද
වේදනා යාය මත
නොසෙල්වී දිළිසුනේ
ආදරයමයි....
නුඹගේ අම්මේ.....
සසර මතු පුරාවට
විඳගන්න ලඟ ඉන්න
පුරන පැතුමන් අතර
කිසිදිනක බුදුවන්න
නොහැකිබව නුඹට ලොව
අවැසිනැත කියන්නට 
යලි යලිත් මුළු ලොවට....

පෙරුම් පුරමින් වැදුව සිහිනය
රැඳවෙනා පුතු නීල දෙනයන
බලා නික්මී යන්න ගිහිදොර
හැකිවුනත් පිය රජුට පෙරදින
අම්මා කොහොමද එය කරන්නේ
ඒ නිසයි මා එක්ක සසරෙම....




කොච්චර උවමනාව තිබුනත් අම්මා ගැන, අම්මාගේ ආදරය ගැන කවමදාවත් කවියක් ලියන්න හිතුවෙවත් නැත්තේ ඒ ආදරයට අලගු තියන්න පුළුවන් මට්ටමක කවියෙක් නොවුන නිසාමයි.අනික, අම්මා ගැන මගේ හිතේ තියන හැඟීමට සමපාත වෙන්න ,ඒ හැඟීමට කිට්ටුවෙන් යන්න ; මේ ලෝකේ මට තියන විශිෂ්ඨතම කවිය රංබණ්ඩා සෙනවිරත්නයන් මට කලින් ලියලා තිබීම.ඒ කවිය තියනකම් මට අම්මා ගැන තව කිසිම කවියක් ඕනේ කලේ නෑ.

නුවර අහස කළු කරගන - නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහේ ගියා - යෝද ඇලේ නැම්මේ
ඔබේ සෙනෙහස සුවඳ දිදී දැණුනා මට අම්මේ....

ඒත් අදහස වෙනස්කලේ අළුතින් බ්ලොග් කරණයට පිවිසුන අමුතුම විදිහට හිතන පට්ට ඩයල් එකක්."වල්පල්" කියන බ්ලොග් එක ලියන සංජය කියන හාදයා.තමන් හිතන විදිහ අමුවෙන්ම අතාරින, ඌ ලියපුවා කියවලා හිතන්න යමක් ඉතිරි කරන අමුතුම ටැලන්ට් එකක් තියන එකෙක්.උගේ තියන එකම වැරද්ද තමයි හයිස්පීඩ් ලියවිල්ල.ඌ ලියන ඒවා කියවලා කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ,විවේකයක් තියනවනම් තියෙන්නේ අර NGO සල්ලි වලට බ්ලොග් කියවන කමියා වගේ කීප දෙනෙක්ට විතරයි.ඒක ඌට කිවුවත් ඌ ඒ නරක පුරුද්ද අතැරගන්නෙත් නෑ.ඒ නිසාම උගේ ලිපි ගොඩක් මග ඇරෙනවා. "බුදුන් ගැහැණියක් නොවන්නේ ඇයි...?" කියන ලිපියත් දැනට දවස් 2ට කලින් ඌ ලියපු එකක්.ඒකෙන් පස්සේ ඌ තව ලිපි 2ක් පබ්ලිශ් කරලා.ඉතින් කොහොමැයි ඌට කමෙන්ට් කරන්නේ...?

මේ මාතෘකාව ගැන මෝඩ විදිහට යන වාද විවාද බුකියෙදිත් දැක්කා.ලෝකේ තියන ලොකුම ප්‍රශ්ණේ හොයාගත්තා වගේ හැසිරෙන මොංගල් සේනලා ටිකකුත් දැක්කා.ඒ වගේම ඔය ප්‍රශ්ණෙට දීලා තිබුන ලස්සන පිළිතුරකුත් දැක්කා.

"තාත්තා කෙනෙක් අළුත ඉපදුන පුතා දිහා බලලා ගිහි ගෙයින් නික්මුනාට අම්මා කෙනෙක්ට ඒ වැඩේ කවදාවත් කරන්න බෑ.ඒ නිසයි ගැහැනියක් කවදාවත්ම බුදු නොවන්නේ....."

ඔය උත්තරේ ඔළුවේ කැරකෙන වෙලාවක තමයි වල්පල් වල මේ පෝස්ට් එක දැක්කේ.ඒ පෝස්ට් එකට කමෙන්ට් එක තමයි මේ විදිහට මගේ ඉට්ටැයිල් එකෙන් මෙතන දැම්මේ.වල්පල් අඩවියටත් ගිහින් ඌට දිරියක් වෙලා වරෙන්.ඊට පස්සේ මේක කියවපල්ලා ආපහු."වල්පල්" කියන්නේ මාතලංගේ, විභියලගේ අළුත් පරම්පරාව.ඌ ඒක ලස්සනට කරයි ඉස්සරහට.....


කටුස්සා....

Friday, April 15, 2016

නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා....


ඔබ දන්නවාද දන්නෙත් නැති
මට නවත්තන්න හිතෙන්නෙ නැති
මගෙ සිතුවිළි ඔබත් එක්ක රඟදෙන වන්නම්....
ඔබ පතනවාද දන්නෙත් නැති
මට ඕනේ උනත් නවතින්නැති
මගේ දෙනෙත නුඹ දෙනයන කියවන අන්දම්....

ඔබ මවනවාද දන්නෙත් නැති
මට මවන්නැතුව ඉන්නත් බැරි
මම ඔබත් එක්ක සිහින ලොවේ නෙලනා මල්දම්....
ඔබ දකිනවාද දන්නෙත් නැති
මට නොදැක ඉන්න හිත දෙන්නැති
ඔබ මගේවෙලා මවෙත හෙලන සුන්දර හසරැල්....

ඔබ අහනවාද දන්නෙත් නැති
මට නොඅස ඉන්න කොහොමත් බැරි
ඔබ ගැන සියොතුන් කියනා ආසිරි ගැයුමන්....
ඔබ විඳිනවාද දන්නෙත් නැති
මම හැම තිස්සෙම විඳවන හැටි
ඔබ මගේම කරගන්නට මා හෙලනා සුසුමන්....


කටුස්සා....

Monday, April 11, 2016

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....



සිහසුන අතහැර
කිරුළ වීසි කල
කුමරුන් සාලිය වෙමි මම රජ කල
මාලාවන් හට බැඳි පෙම මත්තෙම
අතැර දමා ගිය මාලිග රන් දොර

රන් මසු උයනේ පෙම් බස් දෙඩුවෙමු
ඉසුරුමුණිය ලඟ තරු කැට ගැන්නෙමු
බසවක්කුලමේ පිපි නෙළුමන් ගෙන
ඇගෙ වරලස සරසා හැඩ බැළුවෙමි

වශී වුනෙමි මන කැලඹූ රූපෙට
විඩා නිවා ගති සැනසුම් වදනට
අමතක කල මට මාවම ඇය ලඟ
රජකම කුමටද ඇය නැති ලෝකෙක
සිතා සැනසුනෙමි...සොයා නික්මුනෙමි...
සහේට ගත්තෙමි...ඇගෙ සුව වින්දෙමි...

වියකී යනවිට රන් රුව අවුවට
වැහැරී යන විට තිසරුන් පොලවට
විඩාපත්ව ගිලි ඇගෙ නෙතු දුටුවම
මතක්වුනා රජ සැලකිලි පෙර විඳ
වසන් කරගතිමි...වැරෙන් හිනහුනෙමි...
මගේ ලඟින් හුන් ඇගෙ හිස සිම්ඹෙමි

කැත්ත උදැල්ලට හුරු නොවු මා හට
සවියක් වුන ඒ සියුමැලි දෑතට
මැසිවිලි කෙඳිරිලි නොනැගූ මුවගට
කඳුළු නගන්නට නොහැකිය කිසිවිට
සිතට දිරි ගතිමි...කඳුළු පිස ගතිමි...
මැදුරු රජ සිහින සුළඟේ පා කලෙමි...

මවකි දරුවනට විටක මා හටම
ලඳකි ලඳ බොලඳ තුරුලේ රැඳි පැයට
රුවට පෙර කලෙක බැන්ද ආලයට
වඩා වැඩි යමකි ඇයගේ වත තුලම
කිරුල ඇය ලඟය...රජුත් ඇය තුලය....
තවත් කුමකටද ඇයම මා ලඟය....


කටුස්සා....

Tuesday, April 5, 2016

හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා.....



"මේ කවි කතා ඔක්කොම ලියන්නේ මට නේද....?"

"ආපෝ නෑ...මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?"

"යනවා යන්න මෝඩයා....මම දන්නවා...මේවා ලියන්නේ මට තමයි"

"කවුද කිවුවේ....?"

"කවුරුත් කියන්න ඕනේ නෑ...මම ඔයාව දන්නවනේ"

"කවද ඉදන්ද..."

"දන්න දවසේ ඉදන්..."

"ඒ වුනාට මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා"

"ඇයි...?"

"පිටට පෙන්නන තරම් මිනිස්සු ලස්සන නෑ ඇතුලට"

"ඒ මිනිස්සුනේ...මේ ඔයා"

"ඇයි....මම මනුස්සයෙක් නෙමෙයිද?"

"නෑ...ඔයා මගේ මිනිහනේ"

"එතකොට ඔයා මගේ ගෑනිද....?"

"ඇයි...එහෙම නෙමෙයිද? මරනවා තෝව...."

"ඒත් එපා...ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි...."

"ඔවු....සමහරවිට...ඒත් මට හොද ඔයාවනම්....?"

"මාව දැනට හොදවුනාට පස්සේ කාලෙක නරකට පෙනෙයි ඔයාට"

"ඇයි එහෙම හිතන්නේ....?"

"මම ආදරේදී හරි ඊරිසියාවයි....මට ඕනේ ඔයාව මගේම විතරක් කරගන්න...."

"ඉතින් මෝඩයෝ මටත් ඕනේ ඔයාගෙම විතරක් වෙන්න තමයි..."

"ඔයාට තේරෙන්නේ නෑ මම කියන දේ...."

"තේරෙන විදිහට කියන්නකෝ එහෙනම්....හබැයි මම ඔය ඔඩොක්කුවේ ඔළුව තියාගත්තට පස්සේ...."

"හම්ම්ම්..."

"හරි...දැන් කියන්න...මේ ඔළුව ටිකක් අතගානවකෝ බුම්මට්ටාවගේ ඉන්නැතුව...අන්න එහෙම...කියන්නකෝ ඉතින්"

"මට ඕනේ ඔයා මගේ ගාවටම වෙලා ඉන්න...හැම තිස්සෙම මගේ ඇගේ ගෑවි ගෑවි ඉන්න...මොන වැඩේ තිබුනත් මගේ අස්සටම වෙලා ඉන්න....ඉතින් මට බයයි,මම බලාපොරොත්තුවෙන ඒ දේ ඔයාට වදයක් වෙයි කියලා.එහෙමවුනොත් ඔයාට මාව එපාවෙයි.දන්නවද....මම පාළුවෙන් ඉන්නකොට ඔයා තමයි මගේ පාළුව මැකුවේ.මුලදී එච්චරටම නොදැනුනත් පස්සේ පස්සේ මම ඔයා එනකම් බලන් හිටියා.ඔයා ආපුනැති සමහර දවස්වල මම රෑ වෙනකම් පාර දිහා බලන් හිටියා ඔයා එයි කියලා හිතාගන.ඒත් පහුවෙනිදට කතාකරනකොට ඒ මොනවත් මම ඔයාට කිවුවේ නෑ.සමහරවෙලාවට මම ,මගෙන්ම ඇහුවා මම ඔයාට ආදරේ කරනවද කියලා...ඔවු...මම ඔයාට ආදරේකලා.දැනුත් කරනවා.ඒත් ඒක කියන්න මම කැමති නෑ.මම බයයි ඔයා මට අකමැතිවෙයි කියලා...මේ විදිහට ඉන්නකොට අඩුමගානේ මට ඔයා එක්ක කතාකරන්න හරි පුළුවන්.ඒත් ඔයා මට අකමැතිවෙලා මාත් එක්ක තරහවුනොත් මට ඒකත් නැතුව යනවා.එතකොට ආපහු මට ඉන්නවෙන්නේ තනියම පාළුවෙන්.මම දැන් ඒ පාළුවට බයයි.අපි දවසකට හම්බවෙලා මහ ලොකු වෙලාවක්, මහලොකු දෙයක් කතාකරන්නේ නෑ තමයි.ඒ වුනාට ඒ ටික මට මහමෙරක් වෙලා.ඉස්සර ඉදලම මම ආදරේට හරි පෙරේතයි.දැන්නම් ආදරේට බඩජහරියෙක් වෙලා.මට එහෙමකලේ ඔයයි.ඉතින් මට ඕනේ නෑ මේ ආදරේ, ලෙංගතුකම නැතිකරගන්න.අපි මේ විදිහට හිටියොත් අඩුමගානේ ඔයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙනකම් හරි මට ඔයා එක්ක මේ විදිහට ඉන්න පුළුවන්.හදිස්සියේ හරි ඔයා තරහවුනොත් මට ඒකත් නෑ."

"ඉතින් මෝඩයෝ මාත් කැමතියිනම් ඔයත් එක්ක එහෙම ඉන්න....?" 

"ඔයා තාම පොඩි එකෙක්.මම තරම් ජීවිතේ අත්විඳලා තියන එකෙක් නෙමෙයි.ඒ නිසා ඔහොම කියයි.ඒත් ඔයා ජීවිතේ අත්විඳිද්දී ඔයාටම හිතෙයි මේ මිනිහා මාව හිරකරන්න හදනවා කියලා.මට ඔයාව හිරකරන්න ඕනේ කමක් නෑ.ඒ වුනාට මේ ජීවිතේ හැම විනාඩියකටම, හැම තප්පරේකටම මට ඔයාව ඕනේ.මම රස්සාවකට යන්න එපා කිවුවොත් ඔයා දැන් ඒක පිළිගනියි.ඒත් පහුවෙනකොට ඔයාට හිතෙයි මේ මිනිහා මාව එයාගේ යටතේ තියාගන්න මේ දේවල් කලා කියලා.මට ඔයාව යටත් කරගන්න ඕනේ නෑ.ජීවිතේ හැමදාම එකවගේ නෑ. අගහිග අඩුපාඩුකම් ඕනේ තරම් එයි.ඒ වෙලාවට ඔයාට හිතෙයි මේ මිනිහා මට රස්සාවකට යන්න දුන්නනම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා.එහෙමවෙනවට මම කැමති නෑ.අපි දෙන්නගේ හිතේ අපි දෙන්න ගැන තියන ආදරේ හැමදාම මේ විදිහටම තියනවට මම කැමතියි.අපි දෙන්නා මේ විදිහටම හිටියොත් අඩුමගානේ ඒ ආදරේ කිළුටුනොවී තියේවි හැමදාම...."

 'ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ....ඔච්චර දේවල් තේරුම්ගන්න පුළුවන්, ඔච්චරදේවල් හිතන්න පුළුවන් එකාට හිතාගන්න බැරිද මම රස්සාවක් කලා කියලා තොට තියන ආදරේ වෙනසක් වෙන්නේ නෑ කියන එක....මගේ ආදරේ ගැන එච්චර අඩු තක්සේරුවකින් හිතන්නේ ඇයි...?අහපිය මේකත්...මමත් ආසයි රස්සාවක් කරන්න.මම ඉගනගත්තු දේකින් ප්‍රයෝජනයක් ගන්න.මගේ මහන්සියෙන් කීයක් හරි හම්බකරගන්න.පඩි අරන් එන ගමන් ගෙදරට බඩු මල්ලක් උස්සන් එන්න.මගේ සල්ලිවලින් ඔයාට ඇදුමක් අරන් දෙන්න.ඔයාට සල්ලි ප්‍රශ්නයක් ආවහම මගේ අතේ තියන සල්ලි ඔක්කොම දීලා ඔයාගේ ප්‍රශ්නේ බර හෑල්ලුකරන්න.ඒ ඔක්කොටම වඩා මැරෙනකම්ම ඔයාට ආදරේ කරන්න.ඔයාට මාව තුරුල්කරගන්න හිතෙන හිතෙන වෙලාවට මම ඔයා ලග නැතිවෙයි.ඒ වුනාට මම පොරොන්දුවෙන්නම් ගෙදර ආපු වෙලාවේ ඉදලා ඔයා මාව එලවනකම් ඔයාගේ ඇගේ ගෑවි ගෑවි ඉන්නවා කියලා.නිවාඩු දවස්වලදී ලගින් හෙල්ලෙන්නේ නෑ කියලා.ජීවිතේ තියනකම් ඔය කළු අත්දෙක අතාරින්නේ නෑ කියලා.දැන්වත් මාව ඔයාගේ කරගන්නවද...? කියනවකෝ  වදේ....කවුද වගේ බලන් ඉන්නේ නැතුව"

"හැමදාටම ලගට ගත්තොත් මට මොනවද දෙන්නේ.....?"

"ම්ම්ම්....දවසකට උම්මා 24ක්...පැයකට එක ගානේ...."

"මදි...72 ඕනේ.පැයකට 3 ගානේ...."

"ආපෝ...වැඩියි වැඩියි....48ක්...?"

"බෑ...බෑ....72 තමයි අවම....ඊටවඩා අඩුවෙන්නම් බෑ....මොකද කියන්නේ....?"

"අනේ ඉතින්....අපි දෙන්නා යාළුයිනේ....48ක් ඇති..."

"නෑ...නෑ...උම්ම එක්ක කිසි යාළුකමක් නෑ.72ක'කට වැඩේ කරනවනම් කරමු...."

"හම්ම්...මොනව කරන්නද ඉතින්....මේ උණහපුළුවව දාලා යන්නත් බෑනේ....

"හරි...දාන්න 5ක්....මේ අහන්නකෝ...ඇඩ්වාන්ස් එකක් විදිහට ඔය උම්මා වලින් 3-4ක් දැන් ගන්න බැරිද?"

"3-4ක්....?ඇද්ද දන්නේ නෑ 3-4ක්?බෑ...බෑ...ඕනෙමනම් 1ක් දෙන්නම්...."

"අනේ ඉතින්...."

"අනේ පනේ නෑ උම්ම වලට.ඕනෙමනම් එකක් දෙන්නම්.යාළුවුන පළවෙනි දවසෙම 3-4ක්....ඒවා වානා.අපි සිංහළ කුල සිරිතට අනූව හැදිච්ච වැදගත් ගෑණු ළමයි...."

"අනේ පල යන්න බැල්ලි....හා එහෙනම්...ඒකවත් දෙනවකෝ...."

"හම්ම්...අන්න එහෙම එන්න ...කෝ..ඇස් පියාගන්න..."

"ඒ මොකටද....?"

"උම්මා එක දෙන්න...."

"ඇයි ඇස් ඇරගන බැරිද.....?"

"බෑ...බෑ...උම්මා ඔනෙනම් ඇස් පියාගන්න.අපිට ලැජ්ජයි..."

"ඉතින් මායි උඹයි විතරනේ ඉන්නේ...."

"මේ...උම්මා ඕනෙද එපාද...?ඕනෙනම් කටවහගන ඇස් පියාගන්නවා..."

"නොදකින් මුන්ගේ ගනන්....හරි පියා ගත්තා...."

...........................
...........................

"චූටි පුතා.....චූටි පුතා...නැගිටිනවා....බලනවා වෙලාව කීයද කියලා....අද යන්නේ නැද්ද....?"


-නිමි-


කටුස්සා....

Sunday, April 3, 2016

නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත.....



හද කලම්ඹන නෙතු විකල්වන නුඹේ රුව මත පතිත සඳ සේ
දෙතොල් පොපියන වතත් රතුවන හැඟීමක් මැද රඟන බිඟු සේ
රැලිත් නොනගින විලත් හඬවන හමායන සැඩ මාරුතය සේ
කොහේ සිට නුඹ පාවුනිද මෙහි මගේ දිවියේ අයිතිකරු සේ

පාවෙනා සුළඟත් නිසලවන දිදුලනා නුඹේ නීල දෙනයන
කැල්ම දරනට බැරුව ලතවෙන මගේ සිතුවිලි මන විකල්වන
සරණ සොයනට නුඹේ උණුසුම සියළු සසරෙම සොයා ලතවෙන
වැළඳ ගන්නට තවත් ඕනෙද සිතන්නට කල් මාව අවුලන

කල් බලගන දෙතොල පිනවන මදුවිතක් වුන නුඹේ වදනට
නෙතු පිනායන සිතුවමක් වුන දූල කැල්මක රැඳුන උවනට
මටද මාවත් අමතකව යන සිත නිවාලන ලතෙත් සෙනෙහෙට
උරුම අයිතිය මටම දෙනවද හොවා ඔසු මේ හද උමතුවට


කටුස්සා....