Tuesday, November 29, 2016

👹මහඹබාට මූණු දෙකයි 👹



ජයවතී... කොහේද උඹ
ඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියට
දැන් ඇඬුවා ඇති නේද
වරෙන් එළියට නාඩ

අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට
යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස
එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද
සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු
පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක
උඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟම
කවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතට


පුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ කරනා විට
උදවුවකටවත් එන්නට නොහැකිවුනත් වැඩත් එක්ක
කවදාවත් මැසිවිල්ලක් නැගුනේ නෑ උඹෙ මුවගට
සිමෙන්ති ගල් එකට තියා අලුත් කෑලී අමුණන විට
මාත් එක්ක අත්වැඩදී බරවැඩකලේ ලහි ලහියට
සිමෙන්ති ඇණුනේ උඹ හෙළු දහඩිය හා හරි හරියට
බිත්තියෙනුත් දැනෙන්නේ මට ඒක නිසයි උඹේ සුවඳ


කවිඳු ට්‍රාන්ස්පෝර්ට් ලොරියේ පඩිය වැඩිනිසා ගියාට
දවස් ගණන් මයියංගනේ වැලි මංකඩ නිදි වැරුවට
හිතට මොකද්දෝ දැණුනා අම්මපා ජයතියේ මට
උඹ ගැන සැකයක් හෙම නොව ලොරිය කැඩුන නිසා මගම
ආවේ මම ගෙදරට හෙට උදේ නැවත යමි සිතාන
උඹේ කෙඳිරියත් එක්කලා ඇහෙනා විට හතිලන හඬ
වාවන්නේ නැතුවගියා ජයවතියේ මට දිවියම

ලයිෆ්බෝයි වලට වඩා මුදලාලිගේ සෙන්ට් සුවඳ
නහයට නුඹේ දැනෙන්න ඇති ගැහැනියක් නිසා කදිමට
උගේ රත්තරං මාලය උඹේ පපුවේ ගෑවෙන විට
කිතිකැවුනද උඹේ හිතත් හීගඬු නංවා ඕසෙට
මගේ තරම් ගොරෝසු නැති සිනිදු ඇඟිලි නලියනකොට
ජම්බුගෙඩිය වගේ රතට උගේ මස්ගොබ දිලිසෙනවිට
රැවටුනාද ජයවතියේ උඹත් උගේ වදන් වලට

දුප්පත්කම ඇමට යොදා ගෑණු බාන බඩ තඩියව
අම්මපල්ලා එකපාරින් බාවන්නට හිතුනත් මට 
පොඩිඑවුන්ගේ මූණ මතක්වුන හින්දා නැවතුනා මම
ඒ වෙලාවේ තුන හතරක් ගැහුවත් මම ආවේගෙට
ඒ හැම පාරම වැදුනේ මටමයි නුඹ දන්නවාද
මගෙ අතපය හයියයි තව උඹලට කන්නට දෙන්නට
මාත් එක්ක කහට උගුර දෙකට බෙදන් බීපු උඹව
අරගන ආයෙමත් වරෙන් ජයවතියේ මගේ ලඟට


අහපන් දැන් ජයවතියේ නාඬා වරෙන් උඹ එලියට
පොඩි එවුනුත් බයවෙනවා තවත් ඔහොම අඬනා විට
අද පන්සලේ මහ පෙරහැර උඹහට අමතකවුනාට
ගියපාරත් අපි ගියහැටි මතකද රෑ හඳපානෙම
ඇගපත හෝදාගන විත් පොඩි එවුනුත් එක්කරගන
රෙද්දේ ඇළුන තුත්තිරි ඇට ඔක්කොම ගලවා විසිකර
මූණු දෙකේ මහඹබාව බලන්න යමු අපි හනිකට


කටුස්සා...

Sunday, November 20, 2016

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......

මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ එක්ක වල්පල්ම ගොතද්දී ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන හදවතේ ගැඹුරටම ඇදෙද්දී වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට හිතාගනු බැරි චරිත මවද්දී ඇත්තටම දැනෙන දුක කොයි තරම් සුමිහිරිද ඔබ නිසා හිතවතිය....

-කටුස්සා-

Tuesday, November 15, 2016

To mr.president -02


මම කවුද
මේ කොහේද
මට මුකුත් මතකනෑනේ
කෝ මේ පත්තරේ
මම ජනාධිපති මේ රටේ
හොල්මන්ද

අම්මටසිරි ඔව්නේ
මම ජනාධිපති උනානේ
උනා නෙමෙයි කෙරෙවුවනේ
පොරොන්දු මම
දුන්නද අඅ
මතක නෑ මට මුකුත්

මොකක්
යහපාලනය
කොමිශන්සභා
ව්‍යවස්ථාව
මේ මොන කුණුහරුපයක්ද
මොනවද ඒවා

සිවිල් සංවිධාන
මම පොරොන්දුවුනාද උන්ට
එහෙනම් ඔන්න ඔහේ දීලා දානවා
හැබැයි  මට කියනවා
දෙන්න ඉස්සල්ලා

‍පක්ෂ සභාපති
ආ ඔව් ඔව් ඒක මතකයි
හෙන අමාරුවෙන් ගත්තේ
කලින් එකාගෙන්
නොතිබ්බානං මට
මොන නවනිංගිරාවක්ද

වයස දාසයේ ඉදං
කටු කාපු මට
මොනතරම් ප්‍රෞඩ පක්ශයක්ද
ජනාධිපතිකම මොකද්ද
සභාපතිකම එක්ක බලද්දී

මගේ පුතා ක්ලබ් ගිහින්
මොකක් කියුවා ගහගන
ඔය නොට්ටිගේ පුතාට කිවුවා මම
ඉස්සර හිටිය එකාට
පුත්තු නිසා වෙච්ච දේ හිටං
හැමිනෙනවනේ මූ

පූජිතට කතාකරන්න ඕනේ
නවලා ගොඩින් බේරගන්න
නින්ද යන්නේ නෑ කන්න බොන්න බෑ
අඩුමගානේ වැසිකිලිවත් යන්නෑ

මතක්වෙන්නෙම නෙලුම් පොහොට්ටුව
පැරදිලාවත් පාඩුවේ ඉන්නෑනේ
ඒකෙයි මේකෙයි...
දෙකේම සභාපතිවුනානම් මූ
ඉඳලා වැඩක් නෑ

නැතිවුනොත්
පක්ෂ සභාපතිකම
වැට්
චීනය
ඉංදියාව
අයවැය
ඒ අස්සේ මුන් හත්පොලේ ගාගනනේ

දෙන්නම් කිව්වටත් පස්සේ
උද්ඝෝෂණය කරපු එවුන්ට ගහලා
ඊයා රනිල් ඔයානම්

කිව්වෙනං  ඔක්ක බලාගන්නම් කියලා
බලන ඇටිකෙහෙලක් නෑනේ
ඕකෙන් මේකෙන් වෙන්නේ
සභාපතිකමට කෙලවෙන එක තමයි

පත්තරේ අරං බලන්න ඕනේ
හෙට උදේට
තව මොන මගුලක්
කරලද දන්නැ
ඇයි යකෝ මටම කෙලවන්නේ

-කටුස්සා-

Wednesday, November 9, 2016

මට දැනෙනවා ආදරේ.....



මට හොරෙන් මගෙ සිතේ
නුඹ යනෙන බව දනිමි
තබන පියවර හඬට
සිහිනයෙන් අවදිවෙමි

නොඑන්නට කිසි කෙනෙකු
හද අගුළු ලා ගතිමි
කෙලෙස නුඹ ඇතුළුවුන
මග තවම මම සොයමි

හොරෙන් විත් යන ලෙසට
සිතුවේ ඇයි නොම දනිමි
නුඹ සුවඳ යොදුන් දුර
සිට වුවද මට දැනුනි

හදවතම කවියක්ව
නුඹ වෙතම පුද කලෙමි
නොදත් ඔබ ඒ බවක්
තවම එහි පද සොයති

ගොළු කරපු ආදරය
දැනුදු පණ නල යදිති
නොදුටුවා සේ ඔබත්
තනිව හිද ඉකිබිඳිති

කඳුළු රැඳි හදවතේ
දුකක් නැති බව දනිමි
නුඹේ මුදු පිරිමැදුම
සියොළඟම දවාළුනි

අපිළිවෙල හද ගැස්ම
තවම නුඹ නම කියති
මගේ ප්‍රියතම කවිය
නුඹම බව දැන් දනිමි

කටුස්සා....
පොකුරු වැහි අක්කා.... මමනම් කතාකරන්නේ  එහෙමයි. දවසක් වෙන බ්ලොග් අඩවියක දැමූ කමෙන්ටුවක් වැරදීමකින් ඇයගේ අඩවියේ පලවුනා. ඒ මාස 4-5 ට විතර ඉස්සල්ලා වෙන්න ඇති. සිදුවූ වරද පහදා දුන්නාට පසුව එම කමෙන්ටුව ඉවත්කර ඉතාමත් සුහදශීලීව මා හට සමාව දෙන්න තරම් ඇය කාරුණිකවුනා. ඇයගේ කවිකාරකම මේ බ්ලොග්ලෝකයේ බොහෝ දෙනෙකුට රහසකුත් නෙමෙයි. ඇයගේ අඩවියේ පලවුන ඇයගේ අවසාන කවිය, ඔබේ කවි හදවතේ අැවිද යමි.. මොකද්දෝ නොදන්න හුරුපුරුදු කමක් හදවතට දැනෙවුවා. අඩුමගානේ ඒ කවියට කමෙන්ටුවක්වත් දැම්මේ නෑ. ඒ කවිය කියවපු ගමන් සේවා ස්තානයේ ලොග් පොතේ කුරුටු ගෑවුනේ මේ පදපේලි ටික . ඇයගේ කවිකමට අලගු තියන්න තරම් කවිකාරයෙක් නොවුනත් ඒ කවියි, මේ කවියි දෙකම මගේ හිතට ගොඩක් දැනුන නිසා ඇයගේ අවසරය ඇතුව මම මේ කවි මගේ අඩවියේ පලකරනවා. මේ කවි කියවන්න ඉස්සල්ලා ඒ පැත්තට ගොඩවැදිලා අදහස් දක්වලා ඇවිත් මේ කවිය කියවලා යන්න කියලා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.පොකුරු අක්කේ ,මේ කවියෙන් ඔයාගේ කවියට අනර්ථයක් සිදුවුනානම් සමාවෙන්න....

Thursday, November 3, 2016

පමාවී ඇවිත් උයනේ පිපුන මල් නෙලාගනු බෑ....























සිහින නොදකින රැයක් වනු මිස
පාට සිහිනය වන්නේ කෙලෙසද
ආදරය හරි ලාභ මගෙ ලඟ
යශෝදාවත කියනු කුමකට

මේ ඉසවුවේ මලුත් නපුරුයි පෙති අඩුයි කටු බොහෝමයි
සුවඳ බලනට ලංවුනොත් නුඹ කටු ඇනී නුඹ හට රිදෙයි
නොඹැළුවත් පෙර දයාවෙන් ලොව උඹ ලඟදි හිත හිරිවැටෙයි
කටු ඇනී ලේ ගැළුවොතින් නුඹේ මටම මාවම එපාවෙයි

මගහරින්නට කීවමුත් සිත නෙත් කැලුම් නුඹ නෙත පතයි
ලිහාගන්නට නොහැකි වරදට දිනෙන් දින සිත වට වෙලෙයි
කතානොකරන එකම දවසක් කල්පයක් මෙන් මා දවයි
හඳුනගන්නට  නොහැකි සිතුවිළි පෙරුම් පුරමින් මගබලයි

 කාත් කවුරුත් නොමැති කාලයේ පාලු මැකුවෙත් ඔබ තමයි
ඉවරයක් නැති කතා අතරින් සවන් සෙවුවේ ඔබෙ හඬයි
සිනා නොමදුටු සිතක කෙළවර සදා ඇඳුනේ ඔබේ නමයි
හෙට දිනක නුඹ පිටව ගිය පසු දිවි ගෙවන යුරු නොම දනියි

කටුස්සා....