Thursday, September 21, 2017

සියලු සත්වයෝ නිවන් දකිත්වා-2






නම නොදිරනා කයම දිරනා අකල්වට මේ දිවිමගේ
දිරන නොදිරන කුණු එකතුකර නිවා බඩපණු හාමතේ
තවුතිසාවට යන්න හෙම නොව පිදුවේ දොල අද මාවතේ
ලබන හැම භව කවුන්සිලයට යන්න කියලාමයි පුතේ

සුමනපාල ජයවතියේ තංගවේලු මෙහෙට වරෙන්
තියනවනම් සත පනහක් දාලා මේ කැට පුරවන්
නොඉල්ලාම සිල් රෙදි දුන් උත්තමයෝ බේරගනින්
රෙද්ද එලා සැතපීලා ජපන් කොඩිය ඇතිද බලන්

වත්තේනිසා උඹේ මිනිහගේ මරණෙට නොවැඩපු ලොකුනම
ජයවතියේ දැක්කද උඹ වඩින ගැම්ම කැට අරගන
පැකට් දෙකට ඇතුලට ගිය ලොකු එකාව සිහිකරගන
වරෙන් යන්න සල්ලි දීලා බේරගන්න මුන් හැමෝම

බෙන්ස් එකෙන් වැඩපු සාධු පාර දිගේ ඇදෙනා විට
පපුව පැලෙයි සුමනේ අයියේ වාවන්නෑ මට එතකොට
ටයිල් මලුවේ ගැටුන දෙපා තාර පොළව උහුලනකොට
හිතට බයයි පොළව පැළිලා ඇදගනයැයි කියා යටට

බුදුන් වදනත් වෙනස්කරගන කඩේ යන රැල තුටුකරන්
තාම සිවුරට වඳින අත් යලි එකතුකරගනු බැරි දුරින්
ඈත්කල හැටි දෙයියෝ බලලම කෑලිවත් නොසිටින ලෙසින්
හෙනම ගහපන් උඹේ තට්ටෙට පිණ්ඩපාතය වැඩි පිනෙන්


කටුස්සා....


චායාරූපය උපුටාගැනීම-
අභීත එදිරිසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි


Sunday, August 13, 2017

To Mr.President 03

To Mr.President 01

To Mr.President 02


තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .


බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙට
රැවටුවා තමයි
කිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණා
මුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගන
ඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරා



හිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙට
හැ(ඇ)ට දෙකට වඩා පක්‍ෂය ලොකුවුනිද සිරා
පරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවන
ගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරා


කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල ඔලුගෙඩි ටික
උඹට පිහිටවෙයි කියලා හිතනවද සිරා
උඹට ඡන්දේ දුන් හේතුව අමතකව ගියොත් උඹහට
පිච්ච මල් සුවඳ වළ ලඟ ඉතිරිවෙද සිරා



කටුස්සා....



හිජකුපාම - හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ප.ලි-
"හිජකුපමා නීලකාස" වචනයේ අයිතිය රවී අයියා සතුය. කතෘ භාගය හමුවූ දිනක ගෙවන බලාපොරොත්තුවෙන් උපුටාගන්නා ලදී.



Wednesday, July 26, 2017

මගේ ආදර යස්සනී



මතකයිද ඒ කාලේ....

වෙලාවක් කලාවක් කිසිවිටක නොම තිබුන
නුඹට රිසි හැමවෙලේ මන පුරා නුඹ රැඟුව
ඒ රැඟුම් දරණුබැරි සිතක් කවි පද බැන්ඳ
කියවමින් ඒ කවිත් ලිවුවේ කාටද ඇසුව

මතකයිද ඒ කාලේ....

මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු

මතකයිද ඊයේ ඔබ....

අසන්නට දෙයක් ඇත තරහවෙනු බෑ හොඳද
තරහාවුනොතින් ඔන්න මරනවා හපලා මම
ලියපු හැම අකුරකම පෙර දිනක මා සිටිය
දැන් කොහිද ඒ අකුරු ආදරය මදිවීද

දන්නවද....

හරිම බර ජීවිතය වරාමල සේ කෙරුව
නුඹම විය මල මගුලි මට මාව අහිමිකල
හිත විඳින ආදරය ලියනු බැරි අසරණව
අකුරු බැරි කවියා වෙමි නුඹ ලඟදි ගොලුව ගිය

තේරුම්ගන්නවද....

ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
විඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම්‍ ය
ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට


කටුස්සා....

Sunday, June 25, 2017

මචං පාදඩේ...



මචං පාදඩේ ඉතින් කොහොමද
සනීපද දැන් ආයිමත්
නැටුව රුසියන් කෑලි බලලම
ආතල්ද උඹටත් ගොඩක්
දවස් තුනකම ගාස්තුව නැති
සියිය පරවුන හිත්ගොඩක්
සනසවපු හැටි උඹත් මාරයි
දෙවනි වෙන්නෑ රජාටත්

අසූගානක් තුවාලලු නේ
පවුනේද බං පොඩි එවුන්
බලන්නටවත් බැරිවෙන්න ඇති
අස්සේ සමුලුවේ වැඩ ගොඩක්
එකෙක් දෙන්නෙක් මැරෙන්නෙම නෑ
මේක මහා හෙන කරුමයක්
ඔහොම කම්මැලි වෙලානම් බෑ
නැද්ද හංගපු ගල්කටස්

ඊයේ උන දේ අද මතක නැති
රටක ඉපදුණු තව එකෙක්
විතරමයි බං මොකක් වෙනවද
මතක නැති කොට ප්‍රථිපලත්
නෑම කිවුවට බලන්නැති බං
උඹත් රහසෙම හඳහනත්
අනේ චූටියා.... කියාපන්කෝ
තිබුනාද රජ යෝගයක්

විමල්ගේ පොත කියෙවුවද බං
හොයාගත්තද වෙලාවක්
වකුගඩුයි චැනලිනුයි අස්සේ
උඹ කරන වැඩ පුදුමයක්
හුස්මගන්නත් වෙලාවක් නැති
අපිට උඹනම් හෙන පොරක්
උඹට මෙන් ගුරුවරු හිටියනම්
අපිත් ලියනවා පොත් ගොඩක්

මචං පාදඩේ යලි කවදටදෝ
අවුස්සන්නේ පොඩි එවුන්
දෙසීයක්වත් නොපැලුනොත් ඔලු
ගැම්ම එන්නෑ රජාටත්
ඕනේ නෑ උඹ යන්න උන් ටික
බලන්නට කඳුලැල් දරන්
උන්ගේ අම්මලා පහේ බස්සෙකේ
ඒවි බත්ගෙඩි තදකරන්


කටුස්සා....

ප.ලි.-
විශේෂ ස්තූතිය.
පින්තූරේ හොයලා දුන්න වේසකයටයි , කමියටයි.

Monday, June 19, 2017

හදේ හිරු ඇහැරී ගිනි බිඳී ලොව කළඹවා රහසේ...



සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු                 සිතින්
නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා            බැති සිතින්
ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා                සීතලෙන්
වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ                     අවසරෙන්


සියත් සියවර සෙවුව ආලය විලිවැදුන                           ආඩම්බරෙන්

දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස                    ආදරෙන්
හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන           වලාවෙන්
සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන්              සඟවමින්


නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන්                       පුරන්

සුරඟනන් පේ වුනා යන්නට වන්දනාවක මල්                         අරන්
ගිනිතියා ගස් නොලද අලු කෙස් පුච්චලා දෝතට                   දරන්
පාලු සොහොනක තනි මකන්නට දෙවියෝ වැඩියලු        දුරඉඳන්

කටුස්සා..

Tuesday, June 6, 2017

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ



මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කර
ගොං කතාවක් කියා හිනහෙනා
ගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්
පුම්බ පුම්බා මටම ගොරවනා
මෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විට
මගේ නින්දෙනුත් මා ඇහැරනා
ගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
හොරෙන් බල බලා මටම ඔරවනා

සෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිත

සිසිල් සුව ආලයෙන් සනසනා
අරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවිය
නිවැරදිම තාලයට රඟවනා
අහස උඹ සයුර උඹ ඉමක් නැති ප්‍රේමයම
බලන බැල්මක පවා අවුලනා
දිවිය උඹ හුස්ම උඹ හැරී බැලුවිට නැවත
පා ලකුණු පසුපසින් රඳවනා

සිත නිවන සුවඳ උඹ යොදුන් දුර වුව දැනෙන

සිහිනෙනුත් මගේ ලඟ දැවටෙනා
යෙහෙලි උඹ සොයුරි උඹ කිසිම අඩුවක් නැතුව
මවුවත්ම සෙනේහය පුදදෙනා
ලෙංගතුම දුවත් උඹ ලඟටවිත් තුරුලු වී
ආදරය මහා ගොඩක් ඉල්ලනා
මමත් උඹ උඹත් උඹ එකම රිද්මය ඇතුලේ
වෙනස් හදවත් දෙකක් ගලපනා

-කටුස්සා-



Sunday, May 14, 2017

පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි.....



එය උමතුවකි.සත්තකින්ම එය උමතුවකි. ඇය උමතුවෙන්ම මා හට ආදරය කරන්නට පටන්ගන ඇත්තේය. මම මාගේ මුලු ජීවිතකාලය පුරාවටම කිසිවකුගෙන් නොලබුන තරමටම ඇයගෙන් ආදරය විඳිමින් සිටින්නෙමි. ඒ ආදරය ;මාගේ ජීවිතය විනිවිද යමින් ආත්මය තුල ලැගුම්ගන්නා අයුරු මම අත්විඳින්නෙමි. ඒ ආදරයෙන් ශූන්‍ය වූ මාගේ සිතුවිළි ඇයත් සමග ඈත අවකාශයේ පාවී යනායුරු සිනාමුසු මුහුණින් මම බලාසිටින්නෙමි. ජීවිතයට කිසි බරක් එක්නොකරනා ඒ ආදරය මා වෙනුවෙන්ම කැපවී සිටිනායුරු බලාසිටිමින්ම මම ආදරය ඉගනගනිමින් සිටින්නෙමි. 

එය සත්‍යක්මය.ඇයට වඩා බොහෝ සෙයින් වැඩිමහලු මාහට ඇය ආදරය යනු මෙයයැයි අකුරුකරමින් සිටින්නාය. බාලාංශ පංතියේ කුඩා එකෙකු මල් මල් සාරිය ගත දවටාගන සිනාමුසු මුහුණින් පංතියට පැමිණෙන 'ටීචර්' එනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින්නා සේ ; මමද උදෑසනින් මා අමතන ඇයගේ දුරකතන ඇමතුම පැමිණෙනා තෙක් නියපොතු හපමින්, සයනයේ එහේ මෙහේ පෙරළෙමින් නොයිවසිලිමත් වෙමින් සිටිමි.  ඒ දුරකතනයෙන් ගලා එන ඇයගේ හඬට; ජීවිතයේ සියලු සෝ තැවුල් දියකර හරින්නට පේවී සිටින්නෙමි. 

ජීවිතයේ පැමිනි මග හමුවී ඇති පෙම්වතියන් සිහි කරන්නෙමි. කිසිඳු දිනයක තවකෙකුගේ ආදරය හා සංසන්දනය නොකරන්නෙමී'යි සිතාසිටි ඇයගේ ආදරය; රහසේම ඔවුන් හා සංසන්දනය කරන්නෙමි. ඔවු... යුවතියනේ; ඔබලා පරාද වී ඇත. ඔබලා කලෙක මට ලබාදුන් ආදරය කිසිසේත්ම බාල්දු නොකරනා නමුදු මහත්වූ තෘප්තිකර හැඟුමකින් ඔබ සියලුදෙනාටම හඬගා කිව හැකි පරිද්දෙන් ඇය මට ආදරය කරමින් සිටින්නාය. කෙටියෙන්ම පවසනවානම් මටද මා පිළිබඳව ලෝභ සිතෙනා ආකාරයට මම ; ඇයගේ ආදරයට වශීකෘත වී සිටින්නෙමි.

"සේපාලික සුවඳ අරන්
දුව එන මද නල‍
ඉම තනිව ඉන්න 
මට වාගෙම ඔබට දැනෙනවද
කවදා හරි එක නුවරක
උපදිමු පුන්සඳ......
පතාගනිමු උපදින්නට
අපි එක නුවරක..." 

අරක  මටද එවුවේ....?

නෑ...අල්ලපු ගෙදර මිනිහට....

වෙලාවට.... මටනම් බෑ...

මොනවද?

මේ කරුමේ කරගහන්න ලබන ආත්මෙත්... මටනම් බෑ 

හා...කැමත්තක් 

මොකක්...?

කැමැත්තක් කියලා කිවුවේ. මොකෝ ඉතින් මම බලෙන් මේ මිනිහව උස්සගන යන්නද මාව බැඳගනින් කියලා..

මේ.... මම කලිනුත් කියලා තියනවා ... විහිලු දන්නේ නැත්තන් විහිලු නොකර ඉමු  කියලා... රෙද්ද 

බෑ..... ආපෝ මටනම් බෑ...

මොනවද?

විහිලු නොකර ඉන්න..

බැල්ලි

දැක්කද...දැක්කද.... ඉස්සරනම් කිවුවේ බැල්ලි පැටියා කියලා...අර පස්සෙන් එන කාලේ.... දැන් කියන්නේ නිකම්ම බැල්ලි 

ආ... ඒ යාලුවෙන්න අහන කාලෙනේ... ඒ කාලේ තෝ කැමත්ත දීලා තිබ්බේ නෑනේ... ඒවා එහෙම තමයි. බැන්ඳට පස්සේ කියන්නේ වල් බැල්ලී කියලා 

කියපියකෝ බලන්න... හපනවා කට

යකෝ... වෙන ගෑනුනම් කට කනවා. මේකි හපනවා. යස්සනියෙක්ද කොහේද...

එහෙම තමයි අපි.... කියන්නකෝ... මාව මතක්වුනේ නැද්ද අද? 

නෑ...අල්ලපු ගෙදර අක්කවනම් මතක්වුනා 

ඔවු..ඔවු... මම දන්නවා. අපි මොක්කුද මෙයාට මතක්වෙන්න...මේ ඒයි... අහන්නකෝ...

ඇය හා මා අතර සම්බන්දයේදී "ඒයි" සහ "බැල්ලි පැටියා" යන වදන් අතර තිබුනේ කිසිදා නොබිඳිය හැකි සම්බන්දයකි. ඇයට බැල්ලි පැටියෝ කියා මා අමතන්නට පුරුදූ වූවේ ඇයිද කියා මම නොදන්නෙමි. මට ඒයි යනුවෙන් අමතන්නට පුරුදුවුනේ ඇයිද බව ඇයද නොදන්න බව මම ඉඳුරාම දනිමි. ඇය හා කතාකල මුල් දවස්වල සිටම ඒ කතාවේ හෘදයාංගම ඉසවුවලදී ඇය හා මම  එකිනෙකා ඇමතුවේ එසේය. කෙටියෙන්ම පැවසුවහොත් ඇයව සිතට දැනෙන්න , ඇයට ආදරය කරන්නට පෙර සිටම අපි එකිනෙකා ආමන්ත්‍රනය කලේ එම නම්වලිනි. ඇය එවු වෙසක් සුබපැතුම් පතක පවා ඇය ලියා එවා තිබුනේ බැල්ලි පැටියා විසින් ඒයි වෙත යනුවෙනි. 

කියන්නකෝ....

මාව දාලා යන්නවුනොත් මොකද එදාට ඔයා කරන්නේ....?

මොකෝ බට්ටෝ අමුතුවෙලා අද? හිත බරවෙලා වගේ කතාකරන්නේ...

මම අද සිංදුවක් ඇහුවා. ඒක අහපුවෙලාවේ ඉඳලා මට දුක හිතුනා... ඔයා ගැන..

මොකද්ද සිංදුව?

දිවුල්ගනේගේ.... කොහේ හෝ ඔබ නතරවී

දුක හිතන්න එපා... තේරුනාද? උඹ කවමදාවත් මගේ නොවුනට මම උඹ එක්ක තරහාවෙන්නේ නෑ...

මම ඒක දන්නවා...ඒ නිසාම තමයි මට දුක හිතුනේ...

ඒවා මම බලාගන්නම්. දැන් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න.

දන්නවද ඒයි.... මේක මට බරක් නෙමෙයි. ජීවිතයක් වුනහම මෙහෙම බරකුත් තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ සම්පූර්නයි කියලා හිතන්නේ. ඔයාට පිං මට එහෙම ජීවිතයක් දුන්නට. ඒ වගේම මාව මෙහෙම තේරුම්ගන්නවට. ඇත්තමයි ඒයි. ඒ ගැන කියන්න මට වචන නෑ. වෙලාවකට හිතෙනවා මම ඉමෝශනල් වෙනවා වැඩියිද කියලත්.....

අහන්නකෝ බැල්ලි පැටියෝ... ඉමෝශනල් වුනාට කමක් නෑ. ඒ තමයි ආදරය. ඒත් ඒ ඉමෝශනල් ගතිය ඇතුලේ යකඩ හිතකුත් තියාගන්න. තේරුනාද?

මම එහෙම මල්පෙත්තක්ම නෙමෙයි. මට පුලුවන් ඒවා දරාගන්න.

ඒකනේ.... මම දන්නවනේ. මේ ගමන ලේසියෙන් යන්න පුලුවන් ගමනක් නෙමෙයි. අපිට ගොඩක් දේවල් විඳගන්න වෙයි. ඇස්වල කඳුලු නැතුව අපි ඒවා විඳගමු.

ඔයා සතුටින් නේද  මා එක්ක? ගොඩක් සතුටින්ද? නැත්තම් බරක් එක්ක සතුටින්ද?

ගොඩක් සතුටින්, ලොකු බරක් එක්ක. හැබැයි ඒක ආස හිතෙන බරක්. මොලේ කිතිකැවෙන බරක්. මගේ ලඟ ඉන්නකම් ඇස් දෙක වගේ බලාගන්නම්. එච්චරයි මම දන්නේ.

මම ඒක දන්නවා ඒයි... මොනවාවුනත් හිනාවෙලා ඉමු. අන්තිම වෙනකම්ම...

එහෙනම් මට හැමතිස්සෙම බඩට බර්... ගාන්න වෙයි..

නෑ...නෑ...විහිලුකතා වලට හිනාවෙන්නත් දන්නවා මම. තව සීරියස් තැන් වලදී,අනවශ්‍ය තැන් වලදී හිනාවෙන්නත් දන්නවා .

මම සීරියස් මොනවාහරි කියද්දී හිනාවියන්කෝ බලන්න. කට අතුල්ලනවා ගලක  මෙහෙම හිටියට මම හරි සැරයි.

මමනම් බයවෙයි.... මම දන්නවනේ මේ මිනිහාට හොඳින් කිවුවොත් ඕනේ දෙයක් කරනවා කියලා.ඉතින් මම බය නෑ. මට තියෙන්නේ චුට්ටක් ඇදලා පැදලා බටර් ටිකක් ගාන්න විතරයි. එතකොට කරෙත් යන්න පුලුවන් මට.

බැල්ලි...බර කීයද බං උඹේ?

61යි. ඇයි? 

කරුමේ... කරුමේ...ඉතින් බලහන්කෝ කිලෝ හැටක අල මල්ලක් කරේ තියාගන මැරෙනකම් ඉන්නවෙනවා කියන්නෙම මොන කරුමයක්ද ඒ මිනිහගේ.... කමක් නෑ. ගෙවන්න තියන පවු මේ ආත්මෙම ගෙවලා ඉවරවුනහම හොඳයිනේ. ලබන ආත්මෙදී මේ දරහැව වෙනුවට ලස්සන කෙල්ලෙක්ව යාලුකරගන්න පුලුවන් . ඇයි.. ඇයි හිනාවෙන්නේ?

ඇයි ඇයි මොකෝ....? මේ පේන්න හිනාවුනාට ලඟ හිටියනම් මරාගන කනවා. මම හරක් මස් කන්නේ නැතිනිසා නිකම් ඉන්නවා.

යකෝ .... මේකි බලපන්කෝ. දැන්ම කතාකරන්නේ හරකා කියලනම් තව ටික කාලයක් ගියහම මොනවා නොකියයිද?

මොනවා කිවුවත් මමනේ ඒයි. මොනවා වෙනවද ඒකට?

ඒ විදිහටම හැමදාම හිතනවද?

කොහොමද?

දැන් ඔය කියපු විදිහටම.... අපි දෙන්නා අපේ විතරමයි කියන විදිහටම

දෙපාරක් හිතන්නේ නෑ ලොකූ.... මම මැරෙනකම්ම හිතන්නේ ඒ විදිහටම තමයි. අවිශ්වාසයක් තියාගන්න එපා. 

එහෙනම් මමත් පොරොන්දුවක් දෙන්නම්.

මොකද්ද?

ඔයා මගේ වුනත්  නැත්තත් ඒ ඔයාට දුන්න ආදරේ, හැමදාටම ඔයාටම වෙන්වෙලා තියෙයි. එච්චරයි. ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් , ඒ ආදරේ ගැන හිතලා සැනසෙන්න. තේරුනාද?

ඕ.....

හම්ම්.... එහෙනම් යමු. මම වැඩට යන්නත් ඕනෙනේ. 

හා...යමු...මේ ඒයි...?

මොකද ඊරියේ?

මට ආදරෙයිද?

ඕ....

කොච්චරක්ද...?

අබ ඇටයක් විතර 

ආපෝ.... හොඳටම මදි 

ආදරෙයි බං උඹට.... අහස් 35ක් විතර .

ඒත් මදි...කමක් නෑ. ඊයේ කිවුවේ අහස් 34යි කියලනේ. අද තව එකක් වැඩිවෙලා. මෙහෙම ඉන්නකොට තව තව වැඩිවෙයිනේ.  මට පුලුවන් ඉවසන්න.

පල යන්න බැල්ලි.... මාව ලෝභ කරවලා මෙතන කියව කියවා ඉන්නකොට මම එපැයි ඔෆිස් එකෙන් බැනුම් අහන්න. අපි යමු....

යමු...යමු... පරිස්සමෙන් යන්න ඒයි.

ඔයත් පරිස්සමෙන් ඉන්න බැල්ලි පැටියෝ. දවල්ට කතාකරන්න.

ටටා......

ටටා......

සෙනෙහස උතුරා වාං දමන කොට
සොරොව්වෙ දොරගුළු වහන්නෙ කොහොමද
මා හද වෑ බඳ නම් රලපනාව
උසුලන බර නුඹ නොදනියි මිහිරිය.....


අතුරා දිය රැළි පාවඩ සීතල
මග සරසා ඇත නුඹ පිළිගන්නට
පිපෙන්න මා හද වැවේ ගැඹුරු තැන
සියපත ඉඳුවරයක් ලෙස දෙව්දුව......

නියඟය නොඑනා බව නම් සත්තයි
වෑ බඳ මහමෙර පරදන සවියයි
වැව් දිය බර රලපනාව උසුලයි
පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි.....




කටුස්සා....

Tuesday, May 9, 2017

නිවන



මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳ​ක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද? කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන කම්හලට මහමගට ජීවිතය සින්නවෙන දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන පැරදිච්ච පිලේ සිට වදනින්ම රට හදන පෙරේතම අමනුන් ය​ හැම තැනම ගිනි තියන ගර්ජනය තර්ජනය උපවාස සෑම තැන රාත්තල නොමැතිනම් වර්ජනය සිත පිනන බර වැඩිම යුතුකමට යටවිච්ච වගකීම අතරමැද ඇඹරිච්ච මිනිසුන්‍ ය පණ යදින මහලු ලෙඩ පණ අදින පැවදි රූ ගිනිගන්න දෙමළ මුස්ලිම් සිහළ බෙදන වැට ඉනි බඳින රට විරුවෝ උණු වතුර කොඳු දිගේ වැක්කෙරුන ගෙදර එන විට කටින් හදන ප්‍රතිපත්ති මන ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන්‍ යන කටුස්සා...

Wednesday, April 19, 2017

බාඳුරා


අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලා
සිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලා
කණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලා
රැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලා

හීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසා
හිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපා
ආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකා
ලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසා

නටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදා
කටු ඇනී ලේ ගලනවිට මල හිනාවුණි පෙරටත් වඩා
ලේ ගලන ගත දුන් රිදුම් මල සිනහ පාමුල පොඩි නිසා
තරු බැලුම් ලඟ සිත් රිදුම් මැද හිනාවුණි ලේ ගල ගලා

-කටුස්සා-



Sunday, April 16, 2017

ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි...


නුඹට මට මිටට ගෙන බැලූ කළ​ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා...

Wednesday, April 5, 2017

ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය......💘




මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?

දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇති

නෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තා

ඇයි එහෙම කියන්නේ?

මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවට

හැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේ

මම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..

දුක අඩුවෙන විදිහට....? ජීවිතේ නතරවෙනවා කියලා දැන දැනම තවත් දුක අඩුවෙන විදිහක් හොයන්න ඔයාට පිස්සුද?

වෙලාවකට... අර ඔයා ඉස්සර කියනවා වගේ, හිටපුගමන් පිස්සු හැදෙනවා

ඔයා හැමදාම කලේ ඕකමයි. දැනුත් කරන්නේ ඒකමයි..... 

මොකද්ද?

හිනාවෙන එක.... ඔච්චර දුකක් හිත ඇතුලේ තියාගන ඔය විදිහට හිනාවෙන්නේ කොහොමද? ඒකත් බලෙන්.... ඒත් හොඳටම අඳුරන කෙනෙක්ට ඇරෙන්න ඒ හිනාවේ වෙනස හොයාගන්න බෑ කාටවත්... 

ඒ කියන්නේ ඔයා මාව හොඳටම දන්නවද?

ඇයි සැකයක් තියනවද ඒ ගැන?

නෑ... සතුටුයි

ඇයි ?

හොඳටම අඳුරන කෙනෙක්ගේ අතින් , අඳුරනවා කියලා කියන කෙනෙක්ගේ අතින් ජීවිතේ නතරවෙන එක කොච්චර දෙයක්ද, නොදන්න කෙනෙක්ගේ අතින් එහෙම වෙනවට වඩා

මට තියන ලොකුම දුකත් ඒකයි...

මොකද්ද?

මේ තරම් අපි අපිවම තේරුමරගන මේ විදිහට අයින්වෙන්න සිද්දවුන එකට

මේ සමුගැනීම ඇතුලේ තියෙන්නෙම අපි අපිවම තේරුම්ගැනීම නේද බට්ටෝ?

ඒ කොහොමද?

අයින්වෙන්න තීරණය කරලත් තවමත් මේ විදිහට කතාකරන්න පුලුවන්වෙලා තියෙන්නේ, මේ විදිහට යන්න දෙන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි අපිවම තේරුම්ගත්තු නිසා බට්ටෝ.මට ඔයාගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඔයාට මගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඒ අපි දෙන්නට ඕනේ හැම දෙයක්ම ඒ ආදරය ඇතුලේ තිබුන නිසා. ඉතින් ඒ ආදරය නැතිවුනාට පස්සේ අපි දෙන්නා ,අපේගැන දන්න නිසා නේද අදත් මෙහෙම කතාකරන්න පුළුවන්වෙලා තියෙන්නේ....

ඇයි අපිට මෙහෙමවුනේ....?

කේන්තිය, මගේ විතරමයි කියලා හිතන්න ගිය එක, ඕනෑවට වඩා ආදරය.... 

ඉතින් ඒ දේවල් වලට මෙච්චර බරපතල තීරනයක්?

අපි ජීවත්වෙන්නේ අපි දෙන්නා විතරක් ජීවත්වෙන ලෝකෙකනම් , ඇත්ත.... මේවා වෙන්වෙන්න හේතු නෙමෙයි. ඒත් තව ගොඩදෙනෙක් අපේ වටේ ඉන්නවා. අපි ඒ ඔක්කොමල්ලවම සතුටුකරන්න ගියහම මෙහෙම වෙනවා.....දැන් ඒක ගැන හිතන්න එපා. ඒක වෙලා ඉවරනේ. දැන් ඉස්සරහට සතුටින් ජීවත්වෙන්න. ගොඩක් කල්පනාකරලා බලලා තීරණ ගන්න. දෙපාරක් නෙමෙයි.තුන් හතර පාරක්ම හිතලා බලන්න, තීරණයක් ගන්න කලින්, ලඟ ඉඳලා කියලා දෙන්න මම නැතිනිසා.... පරිස්සමෙන් හැම දෙයක්ම කරන්න.
ඇයි දැන් අඬන්නේ.....

කෝ... මම අඬන්නේ නෑ. මම දන්නවා මේ ඉන්න මනුස්සයා මගේ කඳුලු බලන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා...

එහෙනම් හොඳ ළමයා වගේ ඔය ඇස්වල කඳුලු පිහගන්න..... 

ඉතින් මම හිතලා අඬනවද....කඳුලු එනවනේ....අහන්න... හිතම බරවෙලා ...හිතම නෙමෙයි... මට කියන්න තේරෙන්නේ නෑ... පපුව මැද්දෙන් ඇවිත් මුලු ඇඟ පුරාම පැතිරිලා . අනේ තේරුම්ගන්න... මට කියන්න තේරෙන්නේ නෑ

මට හිතාගන්න පුළුවන් බට්ටෝ.... මටත් එහෙම්මම වෙලා නිසා.මට කියන්න බෑ හිතන්න එපා කියලා. ඒත් මේ දේ වෙන්න දෙන්න.ඒකෙන් ඔයාට හොඳක් වෙයි. ඇත්තමයි.... විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනේ නෑ. මම හිටිය ටික කාලෙට මම ඔයාට කියලා දුන්න ඒවා එක පාරටම අමතකකරන්න එපා.ඔලුවේ තියාගන වැඩ කරන්න. ඔක්කොටම වඩා සිහියෙන් වැඩකරන්න. කවමදාවත් ජීවිතේ වරද්දගන්න එපා . මම ඈතින් ඉඳගන බලාගන ඉන්නම්. ඉතින් මම එහෙම බලන වෙලාවට මට ආඩම්බර හිතෙන්න , සතුටු හිතෙන්න වැඩකරන්න. ඉඳලා හිටලා එක වැඩක් විතරක් කරනවද?

මොකද්ද?

ඔය එන යන වෙලාවක මාව දැක්කොත් නොදැක්කා වගේ නොයා ,මට හයියෙන් හූවක් තියනවද? හරියට නිකන් "මම හොඳින් ඉන්නවෝ..." කියන්න වගේ...

හා....

හොඳ ළමයා....



- නිමිත්ත -

මේ ගීතයේ මේ පද

කියාගන්නට බැරුව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින......
ලේ නහර ඇට මිඳුලු විනිවිද
රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය.......
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ...පතා ආවෙත් එළෙසමයි......



Tuesday, March 14, 2017

දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන​ පොවනවද දෙතනේ කිරී



වින්ඳ සිත සිත බැන්ද​ ආලය දෑස් අබියස ලේ වැකී රෙද්දේ ඇනි ඇනි තිබුන තුත්තිරි යකඩ අඬුවෙන් ගැලවුනී චන්ද්‍ර මාසෙට ගැලුව ලේ බිඳ නොදැක සිහිනෙන් බයවෙවී හංස ගීතය ගැයුව නුඹ අද කියනවද නැලවිලි කවී පාට සමනල් තටු අතර රැඳි සිහින කුමරුගේ මල් කෙමී රඳවගත් කුස විතරමද අද හිස්වුනේ පණ ගැහි ගැහී සහස් පැතුමන් අතර තනිවී නුඹ මැවුව සුබ සිතුවිලී පිරී ගැබ්බර වුන හිතින් නුඹ දකිනවද තව සැනකෙළී නේක මල් රැඳි නිම්නයක් මැද වැතිර ලය මත ගුලිගැසී යන්න නුඹ සිටි ගමන පුස්ගඳ පිරුන කාමරේ වැළළුනී මිනී මල් පිපි නුඹේ හදවත ගැයුව ඔරසන් පද පැලී ලේ නැතුව සුදුමැළිව ගිය වත සොයනවද තව හසරැළි කකුල් දෙක මැද ගලනවිට ලේ මුවින් නැගුනිද කෙඳිරිලී දරාගනු බැරි විටදි රිදවුම් සිහිවුනිද මවු කඳුළැලී ඈත්කරනා විටදි දඟ යුග පියවුනිද නෙතු විළිවැදී මියෙන බව දැනි මොහොතේ නුඹ ලඟ ඔහුත් සිටියද බයවෙවී ලන්ද වන පෙත පිපුණ මල් පෙති අසල​ දඟකළ​ සුරතලී පිපෙන්නට පෙර පුබුදුකළ​ පෙති අතර සැනසුන මාධවී තැලුන රොංකෙමි දරනු නොහැකිව කොට්ට තෙත්කළ​ නිලුපුලී වැඩුනු කුස බර බිමට හලනට ආත්මය මැරු ඉඳුසරී උල්කරන් කට කියනවිට රස කතා ඇස්ගෙඩි ලොකු වෙවී බලා සිටියේ කතා නොව නුඹ මුවේ ඇඳෙනා සෙවනැලී හොරු අරං ගිය කිරි සුවඳ දැනි එරුන කිරි වාවනු නොහී දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන​ පොවනවද දෙතනේ කිරී



අඩෝ.... අපි ගියා එළුවන්කුලමේ.... ඊයේ රෑ ආවේ අඩේ...උඹලා ගියාද? කට්ටියම ගියාද....? කොහේද මේ පාර හිටියේ? කළා ඔයේද ගඟේ වාඩියේද? ගඟේ වාඩියේ බං..... ට්‍රිප ජොලිද.... නැගලා ගියාද....මම නැති අඩුව උඹලට සෑහෙන්න දැනෙන්න ඇති නේද? ඔවු ඔවු....මහ රෑට වෙරි බහින්න උස්සගන එන්න එකෙක් නැතුව කට්ටිය සෑහෙන්න උඹ ගැන කියෙවුවා තමයි.... වාඩියේ සෙට් එක ඇහුවෙත් උඹ ගැන තමයි.ඒත් මේ පාර එච්චර ජොලි නෑ බං. ඇයි ඒ? උඹට මතකද සුද්දිව? කවුද... අර " කටර්" නේද? ගියපාර යනකොට අර ඉස්කෝලේ නිවාඩු කියලා ශාන්ති ඇන්ටිගේ පොත්වල වැඩට උදවුකලේ ඇවිත්.... ඔවු... ඒකා තමයි. ඒකි මැරිලා බං. අපි ගිය දවසට දවස් පහකට කලින්. .... ඒ මොනවා වෙලාද බං ඒ පොඩි එකීට..... ඇබෝශන් එකකදී.... මොකක්? යකෝ ඒකී ගියපාර යද්දිනේ ඕ'ලෙවල් කරලා තිබ්බේ..... ඒවා ඒ පැතිවල සාමාන්‍ය දේවල් බං.... අපිට මැජික් වුනාට. ඒ උනාට ඔක්කොමල්ලට හෙන අවුල්. දවස් තුනක් ඉන්න ගිහින් දවස් දෙකයි හිටියේ..... එන්න ආවා. "....................................." "....................................."


-කටුස්සා-

Wednesday, March 1, 2017

වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්.



හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... රළු වදනට සැඩ බැල්මට නොබැන්ඳාට වැට කඩයිම පැලෙන්න ආදරෙයිලු මම........ දන්නේ නැත්තේ පෙන්නන්නට මතක නැතිවෙලා නිසාම...... තව ඩිංගක් ඉවසනවද ? ආදරයෙන් සනසනවද ? පොරොන්දු හරි මිල හිතින්ම පොරොන්දු වෙන්නම් නුඹ හට.... දුකක් හිතෙන්නේ නැතිවෙයි බලන් හිටිය කාලය ගැන....... එතකම් නුඹ ලඟින් ඉන්න පෙම් උල්පත් පෑදෙන තුරු පොළව පලන් මතුවෙන තුරු සිත් බැමි තව තද කරගන.... නැතිනම් එය දරාගන්න බැරි උනොතින් නුඹේ සිතට තෙමෙන්න වෙයි අපි දෙන්නට නුඹ හද බැමි පුපුරාගන කඩා වැටෙන මගේ පෙමට.........

Monday, February 20, 2017

බැමි



ඇයි ඊයේ ආවේ නැත්තේ...?

වැඩක් තියනවද...?

කාටද...?

අපිට

මෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?

කාටද...?

අපිට

තිබුනා

මොකද්ද?

සැනසීම

ඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?

නෑ....

එහෙනම්?

විඳවන්න

මොනවද...?

ජීවිතය

ඇයි ජීවිතය විඳවන්නේ....?

නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....

ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?

නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....

දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...

එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ

ඔවු...ඒත් ඔයාට පසුතැවිලිවෙන දේවල් කරන්න උඩගෙඩි දෙන්නත් මට බෑ

මම පසුතැවිලි වෙන්නේ ඔයාව හම්බවෙන්න එන එකෙන්වත් අපි දෙන්නා අතර සිද්දවෙන දේවල් වලින්වත් නෙමෙයි.... දුර දිග නොබලා ගෙදර උවමනාවට කරගත්ත කසාදෙන්... මට කිසිම හැඟීමක් එන්නේනැති කෙනෙක් එක්කලා එකට නිදාගන්න වෙන එකෙන්

එහෙම කලේ ඇයි කියලා අහන්නේ නෑ... ඒත් ඔයා මේක දැනගන හිටියා ඉස්සර ඉඳලම

ඔවු... මම දැනගන හිටියා... ඒත් එකෙක්වත් මම කියන දේවල් අහන්න ලෑස්තිවෙලා හිටියේ නෑ.උන්ට අහස නිල් පාටට පේනකොට උන් හිතුවේ මටත් අහස පේන්න ඕනේ නිල් පාටටමයි කියලා.උන් නිකමටවත් ඇහුවේ නෑ උඹට අහස පේන්නේ රතුපාටට නේද කියලා.උන් පොඩ්ඩක්වත් ලෑස්තිවෙලා හිටියේ නෑ අහස නිල් පාටට දකින එකාට අහස නිල් පාටයි කියන්න වගේම අහස රතු පාටට දකින  එකාට අහස රතුපාටයි කියන්නත් අයිතියක් තියන වග පිලිගන්න

මේක මානසික ලෙඩක්ලූ

කවුද කියන්නේ?

මම අහගන ට්V ප්‍රෝග්‍රෑම් එකක කියනවා

එතකොට මෙච්චරකල් ඔයා මට ආදරේ කලේ ඔයා පිස්සෙක් නිසාද... මට ඔයාගේ ආදරේ දැනුනේ මම පිස්සෙක් නිසාද...?

මම  දන්නෑ...මම දැන්නෑ.... ඇයි ඔහොම කතා කියන්නේ... ඒ ආදරේ දැනුනේ ඔයාට විතරක් නෙමෙයි. මටත් ඒ විදිහටම දැනෙනවා.ඒත් අපි දෙන්නට කවමදාවත් එකතුවෙන්න බැරිමනම් අපි මොකද කරන්නේ ? අඩුමගානේ ආදරේ නිදහසේ විඳිගන්නවත් බැරිමනම් මොකද කරන්නේ

ඉතින් දැන් ඔයානේ කිවුවේ මේක පිස්සුවක් කියලා....

මොලේ රසායනික සංයුතිය වෙනස්වෙලාලු අපිට එහෙම හිතෙන්නේ

ඉතින් ඔය කියන රසායනික සංයුතියේ වෙනස්වීම නිසාම ඇතිවෙන එක ආදරයක් පිළිගන්න මිනිස්සු ඇයි ඒ නිසාම ඇතිවෙන මේ ආදරේ පිළිකුල්කරන්නේ...?

ඒක අපේ ආගමට, සංස්කෘතියට හොඳ නෑලූ.

ඒ කියන්නේ දෙන්නෙක්ගේ ආදරේට තහංචි දාන ගොබ්බ සංස්කෘතිය රැකගන්න අපි විඳවන්න ඕනෙද?

දන්නේ නෑ

එතකොට ඔය කියන මිනිස්සු ජීවිතකාලෙටම එකෙක් එක්ක විතරක් නිදාගත්තු එවුන්ද? කවදාවත් අල්ලපු ගෙදර වැට පැනපු නැති එවුන්ද? කිසිම ස්ත්‍රී දූශනයක් නොවෙන රටක ඉපදුන එවුන්ද?...  ලබ්බේ සංස්කෘතිය. අයියයි , නංගියි එකට හැමිනිලා පරම්පරාව හදාගත්තු එවුන්, තියන කුඩූකේඩු කමට ඉංදියාවෙන් එවුන්ව ගෙන්නගන රජකමට පත්කරගත්තු එවුන්, දෙයියෝ දුන්න ළමයි තරු පායාගන ඉපදුනා කියලා පිළිගන්න එවුන්, අනිත් එවුන්ට පලයල්ලා කියලා සංස්කෘතියට පාරවල් කපනවා. දවස පුරාම බීගන ඉන්න බේබද්දෝ ඒවට හුරේ දානවා. ආදරේ කරන්න ඕනේ ගෑණු පිරිමි විතරද? ගෑණියෙක්ට ගෑණියෙක්, පිරිමියෙක්ට පිරිමියෙක්  ආදරේ කරන්නම බැරිද?

බෑ...අනිත් උන්ට පිලිගන්න ලැජ්ජ නිසා එහෙම කරන්න බෑ. භෞතිකවාදය ඔලුව උඩ තියන් ඉඳලා ක්වන්ටොම් වාදයට නමස්කාර කරන, ක්‍රිශ්නමූර්තිගේ ඉඳලා ඕශෝට වෙනකම් කියවන උන් ලැජ්ජයි, මේ සරල මිනිස් අවශ්‍යතාවයන් තේරුම් ගන්න

ඇත්තටම මේක සරලද?

ඇයි නැත්තේ...කාගෙන්වත් දැනෙන්නේ නැති ආදරයක්, තෘප්තියක් මට ඔයාගෙන් දැනෙනවානම්, ලැබෙනවානම් ; වටේ පිටේ ඉන්න එවුන්ව සනසන්න මම මට කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති මනුස්සයෙක්ට ආදරේ කරන්න ඕනෙද... ඒ මනුස්සයා එක්ක නිදාගන්න ඕනෙද....

ඔයා පණ්ඩිත වෙලා

නෑ...මාව පණ්ඩිත කරලා...මුන්ගේ තුත්තිරි ඇලුන රෙද්ද පල්ලෙන් බේරෙන සුචිරිතවාදය මාව පණ්ඩිතයෙක් කරලා... මට දුකයි... කෑ ගහලා අඬන්න තරම් දුකයි.  කේන්තියි ,මුන්ව මරාගන මැරෙන්න තරම් කේන්තියි. ඒ වගේම අසරණයි... ඔයාව ජීවිතේට ඕනේ කියලා හිතෙන තරමට අසරණයි.

අපිට මේකට විසඳුමක් ලැබෙයිද?

දන්නේ නෑ.... මට දැනගන්න ඕනෙත් නෑ. හිතට දැනෙන ආදරේකට හේතු හොය හොයා යන්න තරම් නරුමවෙන්න මට බෑ.

දැන් ඔය නැගිට්ටේ යන්නද? අද ඉන්නේ නැද්ද?

බෑ... අද ඉන්න බෑ. මම හෙට එන්නම්

දැන් කොහේද යන්නේ?

නිදහස් දවසට දාන්න සිංහ කොඩියක් අරගන එන්න කිවුවා ගෙදරින්. ඒකත් අරගන ගෙදර යනවා....

Monday, February 13, 2017

මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම්



මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...

ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන
නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින
හම්ම්... කියනා විටක කතා නොකලට බනින
මගේ කට අරින විට ගිනි අරන් මට රවන

ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන
උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න
මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන
හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන

දුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්න
ලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකින
කතා කරනා විටක සියල්ලම පිටදාන
වාන් ගැළුවා වගේ ඇස් දෙකෙන් වත්කරන

අන් එවුන් කියන හැම රසකතා රස විඳින
කිවුවොතින් මම එකක් ටියුබ් ලයිට් සේ ගැහෙන
හැඟුම්බර කතා මැද ගොං කතාවක් කියන
මගේ කටින් ගොං කතා පිටවුනොත් කොනිත්තන

එපා කිවු හැම දේම ඔළුව සොලවා අසන
දතකාලා කොහොමහරි දෙක තුනක්වත් කරන
අනාගත් පසුව එය දිව ඇවිත් මට කියන
මගේ බැණුමට බයේ දුක හිතෙන ලෙස ඉන්න

ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන

මටත් ඉන්නවා පිස්සු බැල්ලියෙක්....
මමත් ආදරේ කරන...

-කටුස්සා-

Monday, January 23, 2017

පහන් කණුව​



"මොනවද උයන්න තියෙන්නේ..."

"වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි."

 කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට මොනවා එක්ක කන්න බැරිද... 

පොල් තියනවද දන්නේ නෑ... ජයේට ඊයෙත් මතක්කලා ගෙඩි දෙක තුනක් ලෙලි ගහලා දෙන්න කියලා. කොහේද... ඒ මනුස්සයත් නැහිලා නැහිලනේ එන්නේ. අමතකවෙන්න ඇති. පිලිකන්න පැත්තේ ලයිට් එකත් පිච්චිලා. පොඩිපුතා ටෝර්ච් එක කොහේදාලද දන්නෙත් නෑ. ඕක හොයන ගියොත් පරක්කු වෙනවා. මේ හඳ එළිය මදැයි පොල්ගෙඩියක් ලෙලි ගහගන්න. 

-------------------------- 

කෝ.... මේ අය එක්කෙනෙක්වත් ඇහැරලා නෑනේ... ලොක්කී...නැගිටින්න... බලන්න වෙලාව කීයද කියලා.... කෝ ලොකු පුතේ... චූටි පුතේ... නැගිටින්න නැගිටින්න... වෑන් එකට පරක්කු වෙයි.කෝ.... කෝ.... ලොක්කි නැගිටින්න.මූන කට හෝදන් එන්න මල්ලිලත් එක්ක. අර හොද්ද ලිපේ. මම යනවා කුස්සියට. තාත්තට එහෙම ඇහැරවන්නේ නෑ. මහන්සිවෙලා ඇවිත් ඉන්නේ. තව ටිකක් නිදාගත්තදෙන්. 

---------------

 "අම්මේ... මගේ මේස්දෙක දැක්කද? ජාති දෙකෙන් දෙකක්නේ මෙතන තියෙන්නේ' 

"බලන්න ටිකක්... අක්කගේ ඒවත් එක්ක පැටලිලා ඇති... ලොකු පුතා... අද ප්‍රැක්ටිස්ද....?" 

"අම්මේ... මේ කන්ණාඩි මේසේ උඩ තිබ්බ කොණ්ඩ කටු ටික නෑනේ..." 

"මම ඔය පෙට්ටියට දැම්මා.පෙට්ටියේ බලන්න" 

"අම්මත් හරි වැඩ තමයි කරන්නේ. මම හිතුවා ඒවා නෑ කියලා." 

"හැමදාම කියනවා ඕවා ගලවලා එහේ මෙහේ දාන්න එපා කියලා... අහනවද... නැතිවෙන්න දෙන්නයි තිබුනේ" 

"අම්මේ... කෝ මගේ කෑම එක"

 "අම්මේ.... මගේ කොණ්ඩේ ගොතන්නකෝ" 

"අම්මේ... කමිසේ යටකරලා කොණ්ඩේ පීරන්නකෝ" 

"ලොකු පුතා... අන්න වෑන් එක හෝර්න් ගහනවා... මේ දෙන්නත් එක්ක පරිස්සමෙන් යන්න"

 --------------

ඇති යන්තන්... ඒ යුද්දේ ඉවරවුනා. වීරෙව ඇහැරවලා ගිහින් මිදුල අතුගාන්න ඕනේ. ආ.... රෙදිටික පෙඟෙන්න දැම්මනම් අතුගාලා ඇවිත් හෝදන්න තිබුනා... 

"වීරේ...වීරේ... නැගිටින්නකෝ මහත්තයෝ. පරක්කු වෙයි."

 "කොහේද යන්නේ.... ඉඳගන්නකෝ මෙතනින්"

 "මම මේ මිදුල අතුගාන්න යන්න හැදුවේ"

 "ඕක පස්සේ කරන්නකෝ... ඒක නෙමෙයි.. කොහොමද මේ මාසේ ගෙවල් කුලිය ගෙවන්නේ..." 

"ඇයි...සල්ලි අඩුයිද?"

 "ඔවුනේ.... අර බලන්හිටිය ලෝන් එක හම්බුනෙත් නෑනේ තාම. ඒ මදිවට මේ මාසෙට මගුල් ගෙවල්ම 4ක් නේ..."

 "කීයක් විතර අඩුයිද?"

 "රුපියල් 4000ක් විතර අඩුයි"

 "මම දෙන්නම්..." 

"ඔයා ගාව කොහෙන්ද සල්ලි" 

"කෙල්ල කොයි වෙලාවෙද දන්නේ නැති නිසා මම ඔය කීය කීය හරි අයින්කරගත්තා . මොකෝ... කනකර පාළුවට ඇරලා කෙල්ලව නාවන්න පුලුවන්ද...මහලොකු ගානක් නෑ. රුපිල් දොලොස්දාහක් වගේ ඇති...ලෝන් එක ගත්තහම මට දෙන්නකෝ." 

"ඔයත් නැතිවුනොත් මම මොනවා කරන්නද මන්දා..."

 "හරි... හරි... දැන් නැගිටලා ලෑස්තිවෙන්නකෝ... යන්න පරක්කුවෙනවනේ" 

------------ 

"මිදුල අතුගාලා ඉවර නැද්ද තාම..." 

" නෑ අනේ... ඔයා කෑම එක ගත්තද... උදේට කෑවද...?"

 "ඒවා හරි..මේ.... ඔයාට පුලුවන්ද දවල්ට බැංකුවට ගිහින් ගෙවල් කුලී සල්ලි දාන්න...?" 

"ඇයි... ඔයාට බැරිද?" 

"බැරිකමක් නෑ... ඒ වුනාට අද cc මහත්තයගේ පැන්ශන් පාර්ටිය. ඕකට හිටියේ නැත්තන් හිතන්නේ මගෑරියා කියලා.... අනික ඉතින් ඔයත් ගෙදරට වෙලා නිකන් ඉන්න එකනේ වැඩකුත් නෑනේ.... ගිහින් දාන්න එහෙනම්. අර කණ්නාඩි මේස උඩ සල්ලි....මම යනවා"


- කටුස්සා -

Tuesday, January 10, 2017

වැළළුණු කවිකම



මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් අතර සමනලුන් වශීකර කවි පෙලින් ගෙන්වගන චාටුවෙන් තටු සිඳලා සිනාසුන කුරිරු කවියා ඔබයි..... නුඹේ හද පැතුව පෙම මුවාකර කඩතිරෙන් මිහිපිටක නොමැති පෙම අකුරුකර කවි පදෙන් අහිංසක හිත රැවටු තුච්ඡ කවියා නුඹයි සිත බැඳුනු ආදරය පිටනොකර සිටි පවින් දෙනු මිසක එනු නොමැති ආදරය දුක බැවින් අන් මලක සුවඳ පැතු වියරු දුදුනා ඔබයි..... ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින් ලං නොවී ලඟ ඉඳන් පාළු මැකු සුරතලෙන් හිතවතිය හිත් බින්ඳ මෘග කවියා ඔබයි හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතු බැවින් හිත තියන් ගොලු කෙරුව හිත බින්ඳ පව අරන් මැරෙනකම් දුක් විඳින ඇගේ කවියා නුඹයි.....

-කටුස්සා-

Monday, January 2, 2017

ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්..




අහම්බයක්
මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?
මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?
මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? 
මේ තරම්  මතක ඉතුරුකරන්න ඕනෙද ?
හිතෙන හිතෙන වෙලාවට 
මතක්කර කර හිනාවෙන්න තරමටම ???

එක්කෝ
නෑවිත් ඉන්න තිබුනා උඹට....
බැරිමනම්
ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;
මගේ හිත අස්සේ
හිතේ රස්නේ ඇස් අගට නොගෙන
හිනාවෙනවනේ අදත් මම.......

අඩුමගානේ
මේ විදිහට මහ හයියෙන්
ආත්මෙම හෙල්ලිලා යන තරමටම
තට්ටු නොකර,
හිමිහිට මෘදුව
පිරිමදින්න තිබුනා මගේ හදවත....
එහෙමවුනානම්
මම තාමත් හුස්මගන්නවා
සැනසිල්ලේ........

ඔක්කොම ඉවසන්න තිබුනා....
ඒත් අර හිනාව !
රෑ තිස්සේ ඇහැරගන 
උඹගැනම හිතන්න තරම්
තවම
හිත අස්සට ඇවිත් නෑනම් තමයි.....
ඇහැරිලා බලද්දී
උඹ හිනාවෙනකොට දොරගාව
ඇත්තමයි
මිරිකන්න තිබුනා උඹව
ලඟ හිටියනම්........

හැබැයි
මේ විදිහට නොතිබුන එකමයි හොඳ
කෙලවරක් ;
අපේ කතාවට......
තිබ්බනම් ඉවරකරන්න වෙනවනේ
එක තැනකදී......
දැන් මට යන්න පුළුවන්
උඹ එක්ක අනන්තෙටම
හීන අස්සේ හැංගිලා........

උඹට තිබුනා
ටිකක් කලින් එන්න......
ආවනම් ;
මේ කවි කඳුර
අද
කවි සාගරයක් වෙලා......