Monday, February 20, 2017

බැමි



ඇයි ඊයේ ආවේ නැත්තේ...?

වැඩක් තියනවද...?

කාටද...?

අපිට

මෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?

කාටද...?

අපිට

තිබුනා

මොකද්ද?

සැනසීම

ඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?

නෑ....

එහෙනම්?

විඳවන්න

මොනවද...?

ජීවිතය

ඇයි ජීවිතය විඳවන්නේ....?

නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....

ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?

නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....

දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...

එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ

ඔවු...ඒත් ඔයාට පසුතැවිලිවෙන දේවල් කරන්න උඩගෙඩි දෙන්නත් මට බෑ

මම පසුතැවිලි වෙන්නේ ඔයාව හම්බවෙන්න එන එකෙන්වත් අපි දෙන්නා අතර සිද්දවෙන දේවල් වලින්වත් නෙමෙයි.... දුර දිග නොබලා ගෙදර උවමනාවට කරගත්ත කසාදෙන්... මට කිසිම හැඟීමක් එන්නේනැති කෙනෙක් එක්කලා එකට නිදාගන්න වෙන එකෙන්

එහෙම කලේ ඇයි කියලා අහන්නේ නෑ... ඒත් ඔයා මේක දැනගන හිටියා ඉස්සර ඉඳලම

ඔවු... මම දැනගන හිටියා... ඒත් එකෙක්වත් මම කියන දේවල් අහන්න ලෑස්තිවෙලා හිටියේ නෑ.උන්ට අහස නිල් පාටට පේනකොට උන් හිතුවේ මටත් අහස පේන්න ඕනේ නිල් පාටටමයි කියලා.උන් නිකමටවත් ඇහුවේ නෑ උඹට අහස පේන්නේ රතුපාටට නේද කියලා.උන් පොඩ්ඩක්වත් ලෑස්තිවෙලා හිටියේ නෑ අහස නිල් පාටට දකින එකාට අහස නිල් පාටයි කියන්න වගේම අහස රතු පාටට දකින  එකාට අහස රතුපාටයි කියන්නත් අයිතියක් තියන වග පිලිගන්න

මේක මානසික ලෙඩක්ලූ

කවුද කියන්නේ?

මම අහගන ට්V ප්‍රෝග්‍රෑම් එකක කියනවා

එතකොට මෙච්චරකල් ඔයා මට ආදරේ කලේ ඔයා පිස්සෙක් නිසාද... මට ඔයාගේ ආදරේ දැනුනේ මම පිස්සෙක් නිසාද...?

මම  දන්නෑ...මම දැන්නෑ.... ඇයි ඔහොම කතා කියන්නේ... ඒ ආදරේ දැනුනේ ඔයාට විතරක් නෙමෙයි. මටත් ඒ විදිහටම දැනෙනවා.ඒත් අපි දෙන්නට කවමදාවත් එකතුවෙන්න බැරිමනම් අපි මොකද කරන්නේ ? අඩුමගානේ ආදරේ නිදහසේ විඳිගන්නවත් බැරිමනම් මොකද කරන්නේ

ඉතින් දැන් ඔයානේ කිවුවේ මේක පිස්සුවක් කියලා....

මොලේ රසායනික සංයුතිය වෙනස්වෙලාලු අපිට එහෙම හිතෙන්නේ

ඉතින් ඔය කියන රසායනික සංයුතියේ වෙනස්වීම නිසාම ඇතිවෙන එක ආදරයක් පිළිගන්න මිනිස්සු ඇයි ඒ නිසාම ඇතිවෙන මේ ආදරේ පිළිකුල්කරන්නේ...?

ඒක අපේ ආගමට, සංස්කෘතියට හොඳ නෑලූ.

ඒ කියන්නේ දෙන්නෙක්ගේ ආදරේට තහංචි දාන ගොබ්බ සංස්කෘතිය රැකගන්න අපි විඳවන්න ඕනෙද?

දන්නේ නෑ

එතකොට ඔය කියන මිනිස්සු ජීවිතකාලෙටම එකෙක් එක්ක විතරක් නිදාගත්තු එවුන්ද? කවදාවත් අල්ලපු ගෙදර වැට පැනපු නැති එවුන්ද? කිසිම ස්ත්‍රී දූශනයක් නොවෙන රටක ඉපදුන එවුන්ද?...  ලබ්බේ සංස්කෘතිය. අයියයි , නංගියි එකට හැමිනිලා පරම්පරාව හදාගත්තු එවුන්, තියන කුඩූකේඩු කමට ඉංදියාවෙන් එවුන්ව ගෙන්නගන රජකමට පත්කරගත්තු එවුන්, දෙයියෝ දුන්න ළමයි තරු පායාගන ඉපදුනා කියලා පිළිගන්න එවුන්, අනිත් එවුන්ට පලයල්ලා කියලා සංස්කෘතියට පාරවල් කපනවා. දවස පුරාම බීගන ඉන්න බේබද්දෝ ඒවට හුරේ දානවා. ආදරේ කරන්න ඕනේ ගෑණු පිරිමි විතරද? ගෑණියෙක්ට ගෑණියෙක්, පිරිමියෙක්ට පිරිමියෙක්  ආදරේ කරන්නම බැරිද?

බෑ...අනිත් උන්ට පිලිගන්න ලැජ්ජ නිසා එහෙම කරන්න බෑ. භෞතිකවාදය ඔලුව උඩ තියන් ඉඳලා ක්වන්ටොම් වාදයට නමස්කාර කරන, ක්‍රිශ්නමූර්තිගේ ඉඳලා ඕශෝට වෙනකම් කියවන උන් ලැජ්ජයි, මේ සරල මිනිස් අවශ්‍යතාවයන් තේරුම් ගන්න

ඇත්තටම මේක සරලද?

ඇයි නැත්තේ...කාගෙන්වත් දැනෙන්නේ නැති ආදරයක්, තෘප්තියක් මට ඔයාගෙන් දැනෙනවානම්, ලැබෙනවානම් ; වටේ පිටේ ඉන්න එවුන්ව සනසන්න මම මට කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති මනුස්සයෙක්ට ආදරේ කරන්න ඕනෙද... ඒ මනුස්සයා එක්ක නිදාගන්න ඕනෙද....

ඔයා පණ්ඩිත වෙලා

නෑ...මාව පණ්ඩිත කරලා...මුන්ගේ තුත්තිරි ඇලුන රෙද්ද පල්ලෙන් බේරෙන සුචිරිතවාදය මාව පණ්ඩිතයෙක් කරලා... මට දුකයි... කෑ ගහලා අඬන්න තරම් දුකයි.  කේන්තියි ,මුන්ව මරාගන මැරෙන්න තරම් කේන්තියි. ඒ වගේම අසරණයි... ඔයාව ජීවිතේට ඕනේ කියලා හිතෙන තරමට අසරණයි.

අපිට මේකට විසඳුමක් ලැබෙයිද?

දන්නේ නෑ.... මට දැනගන්න ඕනෙත් නෑ. හිතට දැනෙන ආදරේකට හේතු හොය හොයා යන්න තරම් නරුමවෙන්න මට බෑ.

දැන් ඔය නැගිට්ටේ යන්නද? අද ඉන්නේ නැද්ද?

බෑ... අද ඉන්න බෑ. මම හෙට එන්නම්

දැන් කොහේද යන්නේ?

නිදහස් දවසට දාන්න සිංහ කොඩියක් අරගන එන්න කිවුවා ගෙදරින්. ඒකත් අරගන ගෙදර යනවා....

Monday, February 13, 2017

මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම්



මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...

ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන
නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින
හම්ම්... කියනා විටක කතා නොකලට බනින
මගේ කට අරින විට ගිනි අරන් මට රවන

ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන
උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න
මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන
හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන

දුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්න
ලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකින
කතා කරනා විටක සියල්ලම පිටදාන
වාන් ගැළුවා වගේ ඇස් දෙකෙන් වත්කරන

අන් එවුන් කියන හැම රසකතා රස විඳින
කිවුවොතින් මම එකක් ටියුබ් ලයිට් සේ ගැහෙන
හැඟුම්බර කතා මැද ගොං කතාවක් කියන
මගේ කටින් ගොං කතා පිටවුනොත් කොනිත්තන

එපා කිවු හැම දේම ඔළුව සොලවා අසන
දතකාලා කොහොමහරි දෙක තුනක්වත් කරන
අනාගත් පසුව එය දිව ඇවිත් මට කියන
මගේ බැණුමට බයේ දුක හිතෙන ලෙස ඉන්න

ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන

මටත් ඉන්නවා පිස්සු බැල්ලියෙක්....
මමත් ආදරේ කරන...

-කටුස්සා-